1150 x 80 px

රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.

රාජපක්ෂ යුගයේදී සංචාරක ව්‍යාපාරය ගැන කියූ සැණින් මතකයට එන්නේ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිගේ කෙරුවාවයි. නාමල් රාජපක්ෂගේ සහචරයකු වූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ ඇතුළු කල්ලියක් විසින් 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියෙහි නත්තල් සාදයක් අතරතුර දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශෙයික් නම් සංචාරකයා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික තරුණියව දූෂණය කිරීමෙන් ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ජාත්‍යන්තර තලයෙහි මැවූ ප්‍රතිරූපය කාටත් අමතක වීමේ ඉඩක් ද නැත. නොමිලේ බලහත්කාර රමණය ලැබීමේ සහ ජීවිත අවසාන කිරීමේ පහසුකම් සපයන රටක් ලෙස ලංකාව ලෝකය ඉදිරියට ගෙනයන්නට නාමල්ලා සිතා සිටියාදැයි අප දන්නේ නැත. එහෙත් එවන් සැකයක් මතු වන්නේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් එවන් මැදිහත් වීම් නාමල්ලා සිදුකළ පළමු වතාව එය නොවන බවට කරුණු හෙළිදරව් වීමත් සමඟය. ඊට වසර ගණනකට ඉහත දී නාමල්ලා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කළ වැඩ කොටසක් පිළිබඳ කතාවක් දැන් එළියට එමින් පවතී. 

 

මෙම කතාව මෙතෙක් ඉහළට ඒමට නොදී සඟවාගෙන සිටින්නට රාජපක්ෂලා සමත් වුවත් ස්විස් තානාපති කාර්යාලයේ නොපසුබට උත්සාහය නිසාවෙන් නීතීඥ නාමල්ගේ තවත් එක් නීච ක්‍රියාවක් අවසානයේ හෙළිදරව් විය. එය මෙසේය.

මයිගම්පුර, සීනිමෝදර පදිංචි ජයන්ත ප්‍රේමලාල් වර්ණරත්න ජයසූරිය නම් පුද්ගලයකුට තංගල්ල ප්‍රදේශයේ වෙරළට මුහුණලා පිහිටි අක්කර හතර හමාරක පොල් ඉඩමක් අයිතිව තිබිණි. 1994 වසරේ දී පැමිණි හෑන්ස් රුඩොල්ෆ් නියුරර් (HANS RUDOLF NEURURER) නම් ස්විස් ජාතිකයකු විසින් මෙම ඉඩම 99 අවුරුදු බද්දකට පවරාගෙන තිබේ. ඉන් පසුව තංගල්ල ප්‍රදේශවාසීන් අතර මෙම ඉඩම "ස්විස් වත්ත" නමින් ව්‍යවහාර විය. 

ඉඩම මිලදී ගත් ස්විස් ජාතික හෑන්ස්, තමන් සතු වෙනත් දේපළ විකුණා ලබාගත් මුදල් සහ තමන්ගේ විශ්‍රාම දිවිය සඳහා වෙන්කළ මුදල් යොදවා මෙහි වෙරළ සංචාරක නිකේතනයක් ආරම්භ කළේය. ස්විස් ජාතිකයින් නිතර යන එන තැනක් වශයෙන් එය ව්‍යාපාරිකව ද සාර්ථකත්වයක් අත් කරගත්තේය. 2000 වසරේදී ඔහු මෙම දේපළ අන්තිම කැමති පත්‍රයක් මඟින් සිය බිරිඳ වන සිල්වියා නියුරර් (SYLVIA NEURURER)ට පැවරීය. හදිසියේ ඔහු මෙසේ අන්තිම කැමති පත්‍රය ලිවීම පසුපස ද යම් පටැලැවිල්ලක් ඇතැයි සැක කෙරෙන අතර දැන් ඒ පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වේ. 

කෙසේවෙතත් 2004 වසරේ දී යම්කිසි පිරිසක් විසින් හෑන්ස් රුඩොල්ෆ්ව ඝාතනය කරන ලදී. ඒ, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් වූ අළුතම වූ අතර 'යම්කිසි පිරිස' කවුදැයි තංගල්ලේ ජනතාවට නම් මහා රහසක් වූයේත් නැත. එහෙත් කිසිවකු නීතිය ඉදිරියට කැඳවුණේ නැති අතර නොවිසඳුණු අපරාධයක් ලෙස එය ද ඉතිහාසයට එක්විය. 

සැමියා ඝාතනයට ලක් වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණි සිල්වියා, තංගල්ල දිස්ත්‍රික් අධිකරණයෙහි බූදල් නඩුවක් පවරා අදාල දේපළෙහි හිමිකාරීත්වය ලබා ගත්තාය. එහෙත් තම සැමියාට තිබුණු ජීවිත තර්ජන සහ අවසානයේ ඔහුට අත්වුණු ඉරණම පිළිබඳව මනාව දත් හෙයින් ශ්‍රී ලංකාවෙහි රැඳී සිටිමින් සංචාරක නිකේතනය පවත්වාගෙන යාමේ අදහසක් ඇයට තිබුණේ නැත. ආබාධිත දරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ "නව ජීවන" නම් ස්විස් ජාතික රාජ්‍ය නොවන සංවිධානයක ආයතනයක් සඳහා ඉඩම බද්දට ලබා දී ඇය යළි තම රටට ගියාය. 

"නව ජීවන" ආයතනයට ආබාධිත දරුවන් වෙනුවෙන් නිදහසේ කැපවන්නට ලැබෙන්නේ වසර කිහිපයක් පමණි. 2007 - 2008 යනු රාජපක්ෂලා තමන් ලත් රාජ්‍ය බලය ඉහළින්ම රසවිඳිමින් සිටි කාලයයි. ඒ කාලයේදී නව ජීවන ආයතනයට කඩා පැන්න නාමල් රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම රාජ්‍ය නොවන සංවිධානය එතැනින් එළවා දමන ලදී. නාමල්ගේ බලයට අභියෝග කළ නොහැකි නිසා සහ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන නීතියක් රටේ නොතිබුණු නිසා රාජ්‍ය නොවන සංවිධානය හකුළාගෙන යද්දී නාමල්ගේ ගෝලයෝ එම ඉඩමෙහි පදිංචි වූහ. 

ඝාතනයට ලක් වූ හෑන්ස්ට අයත් ඉඩමේ බලෙන් පදිංචි වී එම දේපළ බලහත්කාරයෙන් භුක්ති විඳිනා අතර ම නාමල් තංගල්ල අධිකරණයේ නීතීඥයින් යොදවා ඉඩමේ අයිතිය පිළිබඳව විපරම් කර තිබේ. එහිදී ඔහුට හමුවන්නේ ජයන්ත විසින් හෑන්ස්ට ඉඩම පැවරූ 99 අවුරුදු බදු ඔප්පුවයි. 2010 වසර වන විට නාමල්ලා සිටියේ බලයෙන් උමතු වූ තත්වයෙනි. එවන් උමතුවෙන් යුතුව ඉඩමේ මුල් හිමිකරු වන ජයන්ත ප්‍රේමලාල්ව සොයාගන්නා නාමල් නීතියට වෙට්ටු දමනා පොටක් පාදාගනී. 

ඒ අනුව, නාමල් රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු වන මිලේනියම් සිටිහි පදිංචි රණසිංහ ආරච්චිගේ අජිත් චන්ද්‍රලාල් රණසිංහ යන අය විසින් ජයන්ත ප්‍රේමලාල්ට රුපියල් ලක්ෂ 200ක් ගෙවූ බව සඳහන් කරමින් විකුණුම්කරයකින් ඉඩම ඔහුවෙත පවරා ගැනෙන අතර හෑන්ස්ගේ 99 අවුරුදු බදුකරය ගැන සඳහන් පත් ඉරු පවා විනාශ කර දමා ඇත. මෙය නීතියට අනුව කිසිසේත් කළ හැකි කාර්යයක් නොවන මුත් ඒ යුගයේ දී නාමල්ලාට නොකළ හැකි දෙයක් තිබුණේ නැත. 

හෑන්ස් තම සියළුම මුදල් වැයකර ගොඩ නැඟූ ව්‍යාපාරය අයත් දේපළ අහිමි වීමෙන් අසරණ වූ සිල්වියාට කරකියා ගත හැකි දෙයක් තිබුණේ නැත. ඇය එහෙයින් වසර ගණනක් ම නිහඬවම සිටියාය. අවසන 2015 රාජපක්ෂ නින්දිත පාලනය බිඳ දැමුණු පසුව ඇය ස්විස් තානාපති කාර්යාලය හරහා තම අවනඩුව ගැන ජනාධිපති ලේකම් කාර්යාලයටත් අගමැති කාර්යාලයටත් පැමිණිලි කළාය. බලය අහිමිවූවත් රාජපක්ෂලා යනු 'අං ගිලපු අයියලා' බැවින් දෙවසරක්ම යහපාලනය යටතේත් මේ පැමිණිල්ල යට ගසාගෙන සිටින්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් ස්විස් තානාපති කාර්යාලයෙන් දිගින් දිගටම කෙරුණු බලපෑම් නිසා අවසන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය සතියේදී මේ ගැන විමර්ශන කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. 

ඒ අනුව, මේ අපරාධය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම් රැසක්ම ඉදිරියේදී සිදුවීමට නියමිතය. ඒ පිළිබඳව ස්විස් තානාපති කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බහුජාතික සමාගම් රැසක් ද සිටින්නේ තම දැඩි අවධානය යොමු කරගෙනය. 

කලු කෝට් බෑය පටලවාගෙන මාධ්‍ය ඉදිරියේ මරු කියවන 'අධී නීතීඥ' නාමල් රාජපක්ෂගේ කෙරුවාව මේ ආකාරය. රාජපක්ෂ ගැත්තන් දන්නේ නාමල් නීති විභාගයේ දී එක් විෂයක් සඳහා ලබාගත් බව කියන ලකුණු 98 ගැන පමණය. එහෙත් දැන් හෙළිදරව් වන කරුණු අනුව නීතිය කැඩීමේ විෂයේදී නාමල් ලකුණු සීයෙන් සීයම ලබා ඇති ආකාරය නැවත නැවතත් පෙනී යයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top