1150 x 80 px

ඔලිම්පික් මහපුටුව ගන්න රාජපක්ෂ කඳවුරෙන් කුමන්ත්‍රණයක් !
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට  තීරණය වී ඇති අතර මේ දින වල ක්‍රීඩා සංගම් පසුවන්නේ එම උණුසුමත් සමඟය. අවසන් වරට ඔලිම්පික් නිලවරණය පැවැත්වූයේ 2009 වසරේදීය. ක්‍රීඩා ව්‍යවස්ථාවේ පවත්නා දෝෂ හේතුවෙන් 2013 වසරේදී එම නිලවරණය පැවැත්වීමට නොහැකි විය. කෙසේවෙතත් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් ජාතික ජාතික ඔලිම්පික් කමිටුවේ හා  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් බොහොමයක් ගැටළු විසඳා ගැනීමට හැකි වී තිබේ. එහෙත් තවදුරටත් ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු වන අතර ඒ සමඟම මෙරට ඔලිම්පික් කමිටුවටද නිසි ව්‍යුහයක් හදුන්වා දීම කෙරෙහි අවධානය යොමුව පවති. එහි මුලික පියවරක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ලෙස වෙනස් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. ලොව බොහොමයක් රටවල් එලෙස නිසි ව්‍යුහයක් සාදා ගෙන තිබෙන අතර ක්‍රීඩාවේ අනාගත දියුණුව වෙනුවෙන් මෙරටේ ද  එම වෙනස්කම වියයුතු බවයි ජාතික ඔලිම්පික් කමිටුව පෙන්වා දෙන්නේ. 
ඒ අනුව එළඹෙන නොවැම්බර් 09 වෙනි දින ජාතික ඔලිම්පික් කමිටුවේ මහා සභා රැස්වීමක් කැඳවා ඇති අතර එහිදී එම වෙනස්කම් පිළිබඳවත් නිලවරණ කමිටුව පත්කරගැනීමත් ඇතුළු කාරණා පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතය. වසර අවසන් වීමට පෙර පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර ඇති හෙයින් නව සභාපතිවරයෙක් පත්කරගැනීම පිළිබඳ දැන් ක්‍රීඩා සංගම් වල සාකච්ජාවට බඳුන් වෙමින් තිබේ. දැන ගන්නට ඇති පරිදි දැනටමත් පිරිසක් එහි පූර්ව කටයුතුවලට සුදානම වෙමින් හිඳියි. විශේෂත්වය වන්නේ විමානය අතහැර යා  නොහැකි බහිරවයෙක් මෙන් රාජපක්ෂ කඳවුර ජාතික ඔලිම්පික් කමිටුවේ මහපුවටද දැන් කෙළහලන්නට පටන් ගෙන තිබීමයි. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා නැවත සභාපතිධුරයට ඉදිරිපත් නොවන පසුබිම තුළ රාජපක්ෂ නියෝජනය වී සිටින්නේ දැනටමත් ජාතික ඔලිම්පික් කම්ටුවේ මුල්‍ය කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන  Rowing Federation හි සභාපති රොහාන් ප්‍රනාන්දුය.
 
ආරම්භයේදීම රොහාන් ප්‍රනාන්දුගේ නියෝජනය රාජපක්ෂ කඳවුර ලෙස දක්වන්නේ ආවාට ගියාට නොව හේතු  සහිතවය. ඒ අනුව පසුගිය 10 වැනි දින සන්ධ්‍යාවේ රොහාන් ප්‍රනාන්දු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති කරවීමේ වැඩපිළිවෙල මූලික වශයෙන් සාකච්ජා කර ඇති බව සඳහන්. ගොල්ෆ් ක්‍රීඩා සමාජ සංකීර්ණයේදී එම  සාකච්ජාව  පවත්වා ඇති අතර ඊට රොහාන් ප්‍රනාන්දු, වරුණි අමුණුගම, ඩයන් ගෝමස් ( බොක්සිං සංගමයේ සභාපති),කාංචන ජයරත්න ( ටයිකොන්ඩෝ සංගමයේ සභාපති),ඒ.එස්.නාලක (වොලිබෝල් සංගමයේ ලේකම්) සහ හමුදා මේජර්වරයෙක් සහභාගී වී ඇති බව වාර්තා විය. රොහාන් ප්‍රනාන්දු සහ වරුණි අමුණුගම රාජපක්ෂ හිතෛෂීන් බව රටට රහසක් නොවේ. තවත් පසෙකින් කාංචන ජයරත්න යනු පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා  වන්නිආරච්චි මහත්මියගේ සැමියාය. ඔහු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට ඇති ලෙන්ගතුකම අමුතුවෙන් පහදා දිය යුතු නැත. ඩයන් ගෝමස් රොහාන් ප්‍රනාන්දුගේ ළඟම හිතවතාය. මෙකී සියලු හිතවත්කම් ලෙන්ගතුකම් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හා ලේකම් පුටු වෙත  ඇලී ගැලී ඇත්තේ නිකම්ම නොවේ. පරම්පරා ගණනින්  ගොඩදාගත හැකි මහඟු අවස්ථාවකි. රාජපක්ෂ පාලන සමයේදීත් රොහාන් ප්‍රනන්දුලා ඩයන් ගොමස්ලා වැජඹුණේ කෙසේද යන්න රහසක් නොවේ. මඩිස්සලේ පිරි ඇති තැනකට  රාජපක්ෂ කඳවුරේ  ඇල්ම බැල්ම නොවටුනහොත් ඒ ගැන නැවත වරක් සිතිය යුතු වෙයි. 
 
මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රගතිය හා මුල්‍ය ශක්තිය ගැන මේ සියල්ලෝම හොඳින්ම දනිති. රාජපක්ෂ කඳවුරේ ඉතිහාසය අනුව අහුරක් නොව මඩිස්සලේ පිටින් ගිලදැමීම ඔවුන්ට කජ්ජක් නොවේ. බලය නැති කළ වුවද ගේම ගසන්නට ඔවුන් නොදන්නවා නොවේ. ඇතැමෙක් දැනුවත්වද තවත් අයෙක් නොදනුවත්වද බහිරව මල් වට්ටියට අත ගසා හිඳියි. ඉතින් දැන් ජාතික ඔලිම්පික් කමිටුව හමුවේ ඇත්තේද මේ බහිරව අභියෝගයයි. ජාතික ඔලිම්පික් කමිටුවේ කාගේ හෝ දේපලක් නොව රටේ දේපළකි. ක්‍රීඩාවේ දේපළකි. රටේ දේපළ එක එක්කෙනාගේ දේපළ බවට පත්වීම මේ රටට අලුත් අත්දැකීමක් නොවුණද   තවදුරටත් එයම විය යුතු නැත. දැන්  පෙට්ටි කඩය මාළිගාවක් වී තිබේ. එහෙත් නැවත මේ මාළිගය පෙට්ටි කඩයක් වීම විය යුතු නැත.
 
(මතු සම්බන්ධයි)
විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top