1150 x 80 px

 

ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි !

උදර්පණ නීතිය ( Law of Extradition) යටතේ පුද්ගලයකුව පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර මේවන විට උද්ගත වී ඇති රාජ්‍යතාන්ත්‍රික ගැටළුවකට ශ්‍රී ලංකාව මැදි වී ඇතැයි වාර්තා වේ. 

 

කලු සල්ලි ජාවාරමක් සම්බන්ධයෙන් ඇමරිකාවට අවශ්‍යව සිටින රුසියානු ජාතික මැනෝකින් නමැත්තා දැනට ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටින හෙයින් ඔහුව අත් අඩංගුවට ගෙන උදර්පණ නීතිය යටතේ ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවෙන් ලැබී ඇත. ඇමරිකාව විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශයෙනි. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ ගිවිසුමක් පවතින නිසා ඊට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. 

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත් අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ අංක 05 විනිසුරු වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මැනෝකින්ගේ නීතීඥයින් ඉදිරිපත් වී ඔහු නිතර ශ්‍රී ලංකාවට යන එන සංචාරකයකු බවටත් ඔහු කිසිදු නීතිවිරෝධී කටයුත්තක යෙදී නොමැති බවටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඔහුව ඇප පිට නිදහස් කරගෙන ඇත. ඉන්පසුව ඇමරිකාව විසින් මැනෝකින් අත් අඩංගුවට ගෙන තමන්ට භාරදෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ශ්‍රී ලංකාවට එවා ඇත. 

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියාවට ආරංචි වීමෙන් අනතුරුව රුසියානු රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඔහුව වහාම රුසියාවට පිටුවහල් කරන ලෙසය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී හෙළිදරව් වී ඇත්තේ මොහු පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා විශාල වැඩ කොටසක් කළ පුද්ගලයකු බවය. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුණු රුසියානු මැදිහත් වීම ගැන විමර්ශන කරන ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් මොහුට මුදල් විශුද්ධිකරණය යටතේ දැළ එළා ඇති බව ද එහිදී හෙළිදරව් වී තිබේ. 

කෙසේවෙතත් උදර්පණ ගිවිසුම යටතේ මැනෝකින්ව ඇමරිකාවට පිටුවහල් කිරීමට යාමේදී ඔහුගේ නීතීඥවරුන් අභියාචනාධිකරණය වෙත ගොස් ඊට එරෙහිව නියෝගයක් ගෙන ඇත. උදර්පණ පනතේ ප්‍රතිපාදන අනුව පුද්ගලයකුව වෙනත් රටකට භාරදීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාටය. ඒ මොහොතේ පටන් ඇමරිකාව සහ රුසියාව යන රාජ්‍යයන් දෙකම ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින්නේ අදාල පුද්ගලයාව තමන්ට භාර දෙන ලෙසය. රජය මේ මොහොතේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටී. 

එසේම මෙම සිදුවීම හරහා පෙන්නුම් කෙරෙන්නේ පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ක්‍රියාකාරී වූ රුසියානු මාෆියාවේ ඔත්තුකරුවන් ඇමරිකාවේ හෝ රුසියාවේ සිට පමණක් නොව ලොව බොහෝ තැන් වල සිට ක්‍රියාකාරී වී ඇති බවය. මේ පුද්ගලයා දිගටම ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙසේ ක්‍රියාකාරී වී ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top