1150 x 80 px

ඩී.කේ.පී. දසනායක අධිකරණය විහිළුවට අරන්

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ චෝදනාවට ලක්ව සිටින නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායකගේ අසනීප තත්වයන් පරීක්ෂා කර බලා වහාම ඔහුව වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.

 

අදාල නඩුව අද කැඳවුණු අවස්ථාවේදී ඩී.කේ.පී. දසනායක අධිකරණයට ඉදිරිපත් වී නොසිටි අතර ඔහුගේ නීතීඥයින් ප්‍රකාශ කළේ ඔහු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පැවසුවේ ඩී.කේ.පී. දසනායක අධිකරණය විහිළුවට ගෙන ඇති බවත් ඔහු සිතාමතා අධිකරණය මඟහරිමින් සිටින බවත්ය. ඔහු ඇවිදගැනීමට නොහැකිව රෝද පුටුවෙන් ගමන් කරන බවක් අධිකරණයට දන්වා තිබුණද පසුගියදා පැවති කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණියගේ අවමඟුලට ඔහු කිසිදු අපහසුවකින් තොරව ඇවිදගෙන පැමිණ ඇති බවත් එම නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ අනුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, සැකකරුට වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ලබාගත නොහැකි විශේෂ ප්‍රතිකාර ලෙස වැලිසර නාවික හමුදා රෝහලෙන් ලබාගන්නා ප්‍රතිකාර මොනවාදැයි සොයා බලන ලෙසත් ඔහුව වැලිසර නාවික හමුදා රෝහලෙන් වහාම වැලිකඩ බන්ධනාගරයට මාරු කරන ලෙසත් නියෝග කළාය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top