1150 x 80 px

' හාමු නිදි ! උදේට නිවේදනයක් එවන්නම් කිව්වා' - ඇමති බංගලාවෙන් දැනුම්දීලා

මීට දින කීපයකට පෙර ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතික දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබඳව වැඩි විස්තර සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ නියමය පරිදි, ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ලේකම්වරයෙකු නීතිය හා සාමය පිළිබඳ විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ජංගම දුරකතනයට එදින රාත්‍රී කතා කොට ඇති අතර එය ක්‍රියාවිරහිත කොට ඇති නිසා නිවසේ දුරකතනයට ඇමතුමක් දී තිබේ.

එම දුරකතන ඇමතුමට පිළිතුරු දී ඇති පුද්ගලයා පවසා ඇත්තේ ‘හාමු නිදි ' කියාය. පසුව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ලේකම්වරයා ගිංතොට ප්‍රදේශයේ මතුවී ඇති බරපතල තත්වය පිළිබඳව පැහැදිලි කර දී ඇති අතර වහාම ඒ බව ඇමතිවරයාට පවසා ජනාධිපතිවරයා අමතන ලෙස දැනුම් දී ඇත.

පැය කිහිපයක් ඉක්ම ගිය ද විෂයභාර අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ඉහත කී ලේකම්වරයා නැවතත් ඇමති බංගලාවට කතා කොට තිබේ. එහිදී පෙර කී පුද්ගලයාම පවසා ඇත්තේ ‘ වජිර ඇමතිවරයා ( වජිර අබේගුණවර්ධන) ඒ ගැන වැඩ කර ගෙන යන නිසා අපේ ඇමතිතුමා උදේට ඒ ගැන නිවේදනයක් එවන්නම් කිව්වා' යනුවෙන් සඳහන් කොට තිබේ.

සාගල ඇමතිවරයා පොරොන්දු වූ පරිදිම උදෑසනම ඔහුගේ අමාත්‍යංශයෙන් ගිංතොට ගැටුම ගැන නිවේදනයක් එවීමට කටයුතු කර ඇති අතර ඉන්පසු ඔහුගේ මාධ්‍ය අංශය විසින් රාජ්‍ය හා පුද්ගලික මාධ්‍යන්ට කථා කර එකී දැන්වීමට හොඳ ප්‍රචාරයක් දෙන ලෙස ඉල්ලා ඇත. සාගල ඇමතිවරයා පැවසූ පරිදි ගාල්ලේ වජිර අබේගුණවර්ධන ඇමතිවරයා සිද්ධිය පිලිබඳව කටයුතු කර ඇත්තේ සිද්ධිය සිදුවූ දා හැන්දෑවේ සිට ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි STF භටයින් එම රාජකාරියෙන් එදින රාත්‍රියේ ඉවත් කිරීමෙනි.

මෙය සිංහල - මුස්ලිම් ගැටුමකට වඩා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී  අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධාන එජාප අපේක්ෂකයින් දෙදෙනා වන මොහොමඩ් කියාස් හා අමිල නුවන් දෙදෙනාම සිංහල - මුස්ලිම් විරෝධය මත තම දේශපාලන පැවැත්ම සකසා ගැනීමේ හේතුවෙන් මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවයි. මෙම දෙදෙනාම ගැටුමට සෘජුව සම්බන්ධ ය.

මෙම ගැටුම ඇරඹීමට පෙර ගාල්ලේ එජාප ප්‍රභලයින් ඇතිවිය හැකි තත්වය පිළිබඳ රටේ ඉහළම දේශපාලන නායකත්වය දැනුවත් කර තිබේ. නමුත් ගැටුම වලක්වන්නට අතිරේක පොලිස් ආරක්ෂාව ලැබුනේ නැතිවා පමණක් නොව තිබූ  ආරක්ෂාව ද දැවැන්ත දේපළ විනාශයක් සිදු කිරීමට අවශ්‍ය ලෙස සැලකිය යුතු වෙලාවකට ලිහිල් විය.

 gintota 1

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top