1150 x 80 px

ඊ පාස්පෝට් ව්‍යාපෘතියත් මෙගා ඩීල් එකක්ද? ඇත්ත කතාව හෙළි වෙයි!!

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල ඇමතිවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවක්, කැබිනට් මණ්ඩලය විසින් පුදුමසහගත ලෙස අනුමත කර තිබේ. එම යෝජනාව වූයේ මුල පටන් අග දක්වාම ඊ පාස්පෝට් විසඳුම් ක්‍රමවේදය, ලංසු තැබීමේදී ඉල්ලීමක් කර නොතිබූ M/s De La Rue Lanka Currency and Security Print Ltd. සමාගම වෙත ලබාදීම ය. එම සමාගම බහුතර බ්‍රිතාන්‍ය කොටස් හිමිකමක් සහිත සමාගමක් වන අතර එම ලංසුව එසේ ලබාදෙනුයේ තරගකාරී ලංසු තැබීමකින් සහ විනිවිද භාවයකින් තොරව ය.

දත්ත ග්‍රහණය කිරීම, ඒවා පුද්ගලායනය කිරීම (personalization) සහ ඊ පාස්පෝට් නිකුත් කිරීම මෙම මෙගා ව්‍යාපෘතියට අයත් ය. එහිදී මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් 50කට වැඩි සංඛ්‍යාවක් සමග ය. තවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල 05 ක් මෙමගින් එකිනෙකට ජාලගත කිරීමට නියමිත ව තිබෙන අතර එහිදී බැලූ බැල්මටම පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ගමන් බලපත්‍ර ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙමගින් සම්පූර්ණයෙන්ම පාහේ ආවරණය වීමට නියමිත ය. මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වීම සහ කළමනාකරණය වීම සිදුවනු ඇත්තේ De La Rue Lanka ශ්‍රී ලංකා කාර්යාලය හරහා ය. මෙම ව්‍යාපෘතිය සඳහා මෙම සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුව සමග රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කිරීමට නියමිත අතර, එය ඔවුන් සිදුකරනු ඇත්තේ හවුල් සහභාගිත්ව ආකෘතිය පදනම් කරගෙන ය.

කෙසේ නමුත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ලබාදුන් යෝජනාවකට අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ඊ පාස්පෝට් සඳහා නව මුද්‍රණ පහසුකම් සහිත අංශයක් ස්ථාපිත කිරීම සඳහා වැය වන්නේ රුපියල් මිලියන 600 ක් පමණි. ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළින් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, දැනට පවතින යටිතල පහසුකම් ඊ පාස්පෝට් නිකුත් කිරීමට හැකි වන පරිදි ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 50කටත් වඩා අඩු මුදලක් ප්‍රමාණවත් ය. මේ ත්තවය තුළ De La Rue Lanka හරහා මේ සා දැවැන්ත මුදලක් වියදම් කරමින් අලුත් පද්ධතියක් ස්ථාපිත කරන්නට උත්සාහ කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතු වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නොහොත් ‘නව පාස්පෝට් කාර්යාලය’ ආණ්ඩුව විසින් පසුගියදා ස්ථාපිත කළේ රුපියල් බිලියන 1 ක වියදමෙනි. එහි පවතින යටිතල පහසුක්ම මෙන්ම පාස්පෝට් නිකුත් කිරීමේ රාජකාරියේ නියුතු නිලධාරීන් 400කට අධික කණ්ඩායම ද මෙම නව ක්‍රමය ක්‍රියාවට නැංවීමෙන් පසු ‘වැඩක් නැති පිරිසක්’ බවට පත්වෙනු ඇත.

ගමන් බලපත්‍ර නිකුත් කිරීම, මේ ආකාරයට De La Rue Lanka වෙත භාරදුනහොත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවක සංගම්, දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද අප වෙත වාර්තා වේ.

නිසි ආකාරයෙන් සිදුවෙමින් පැවති ඊ පාස්පෝට් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සියතට ගත්තේ එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගේ උපදෙස් අනුව හිටපු ICTA කළමනාකරණ අධ්‍යක්ෂවරයා විසිනි. නිසි පිළිවෙළ අනුව මෙම ඊ පාස්පෝට් ව්‍යාපෘතිය අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, වයඹ සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතට ගැනෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව ට ය. අනතුරුව ICTA විසින් නොමග යවන තොරතුරු භාවිතා කරමින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ (CCEM) නිර්දේශ ඉදිරියට දමමින් - එකම මූලය වශයෙන් De La Rue Lanka දක්වමින් එම සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් ඊ පාස්පෝට් කොන්ත්‍රාත්තුව De La Rue Lanka වෙත ලබාදීමටත් කටයුතු කළේය. පෙර කී ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනම් කමිටුවේ අනුමැතිය සමගින්, ICTA විසින් නව තාක්ෂණික කමිටුවක් ද පිහිටවූයේ ඊ පාස්පෝට් ඩිසයින් එක පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ය. ඉන්පසු කැබිනට් සන්දේශයක් (reference: 17/1093/702/002-XI) අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණේ ICTA තාක්ෂණික කමිටුවේ වාර්තාව De La Rue Lanka වෙත එහි නිරීක්ෂණ සඳහා යැවීමටත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ඊ පාස්පෝට් ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා අවබෝධාත්මක ගිවිසුම De La Rue Lanka සමග අත්සන් කිරීමත් පිණිස ය.

ඊ පාස්පෝට් හි මෝස්තරය නිර්මාණය කිරීම (ඩිසයින්) පිළිඳ වාර්තාව ආණ්ඩුවෙන් පත් කරන ලද තාක්ෂණික කමිටුවක් මගින් සකස් කර ඩි ලා රූ ලංකා වැනි පුද්ගලික සමාගමක් වෙත යැවුණේ කෙසේදැයි ප්‍රශ්න මතු විය. මෙයින් අදහස් කෙරුණේ, කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙරම මෙම ඊ පාස්පෝට් කොන්ත්‍රාත්තුව එකී සමාගම වෙත ලබාදීමට අගමැතිවරයා තීරණය කර තිබූ බව ද? මෙය, තරගකාරී ලංසු කැඳවීමකින් තොරව ජාතික මට්ටමේ කොන්ත්‍රාත්තුවක් බ්‍රිතාන්‍ය සමාගමකට හොර හරසේ ලබාදීමක්ද? මෙම ‘ප්‍රදානය’ පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට උදව් වීම වෙනුවෙන් ලබාදුන් ලොකු ‘සන්තෝසමක්’ ද? මෙවැනි ප්‍රශ්න දැන් නැගෙමින් තිබේ.

කෙසේ නමුත් ඉහත කී කැබිනට් සන්දේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ ලාබදෙමින් උපදෙස් ලබාදී තිබෙන්නේ තනි සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව ලබා නොදී තරගකාරී ලංසු කැඳවීමක් සිදුකරන ලෙසට ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2017 මැයි 15 දාතමින් යුත් අගමැතිවරයාගේ කැබිනට් සන්දේශය, 2017 ජූනි 13 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රමාද කරනු ලැබීය. එසේ තිබියදීත්, ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූ නිරීක්ෂණයන් සහ කැබිනට් මණ්ඩල තීරණ පසෙකලා, ICTA විසින් De La Rue Lanka සමග 2017 ජූනි 17 වැනිදා අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ, ජනාධිපති උපදෙස්වලට පිටින් යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ තාක්ෂණික අවශ්‍යතා අධ්‍යයනය කිරීම සඳහා බව කියමිනි.

සති කිහිපකට පසු, අංක CP/17/1576/722/017 දරණ, හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ එස්.බී. නාවින්න අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ හවුල් කැබිනට් සන්දේශය සලකා බලමින්, තනි සමාගමක් වෙතට ලංසුව ලබාදීම වෙනුවට ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය යටතේ ඊ පාස්පෝට් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම සිදුවිය.

අපට දැනගන්නට ලැබී ඇත්තේ තරගකාරී යෝජනා කැඳවිය යුතු බවට ජනාධිපතිවරයා ලබාදුන් තීරණය ඩි ලා රූ සමාගම විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇති බව සහ, කිසිදු තරගකාරී ලංසු කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තුව තමන්ට දිය යුතු යැයි ඔවුන් තරයේ කියා සිටි බවයි. මෙම ඊ පාස්පෝට් කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමටම ලබාදිය යුතු යැයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා විසින් ද අගමැතිවරයා වෙත බලපෑම් කර ඇති බව අපට දැනගන්නට ලැබේ.

ඉන්පසු පුදුමයකට මෙන් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් 17/2522/749/022 දරණ, 2017 නොවැම්බර් 02 දාතමින් යුත් තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්, 2017 අගෝස්තු 09 දිනැති අංක CP/17/1576/722/017 දරණ කැබිනට් පත්‍රිකාවට ලබාදුන් අනුමැතිය සංශෝධනය කරන ලෙසට ඉල්ලා තිබේ. මෙමගින් ඉල්ලා තිබෙනුයේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අනුගමනය කිරීමකින් තොරව සහ කැබිනට් අනුමැතිය ලැබී තිබූ තරගකාරී ලංසු කැඳවීමකින් තොරව ඩි ලා රු ලංකා සමාගම වෙත කොන්ත්‍රාත්තුව ලබාදෙන ලෙසට ය. විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල ඇමතිවරයා විසින් සිය කැබිනට් පත්‍රිකාවේදී අවධාරණය කර තිබුණේ, ස්විස් චැලෙන්ජ් කාර්යපටිපාටිය යෙදීම ඩි ලා රු ලංකා වෙත කරන අවාසියක් බව ය. තවද අමාත්‍යවරයා සහ අදාළ සමාගම අතර අසාමාන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ ද යන්න ද එමගින් ප්‍රශ්න කර තිබිණි. මේ සියල්ල සිදුවුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අයත් රේඛීය අමාත්‍යාංශයේ ඇමතිවරයා වන එස්.බී. නාවින්න අමාත්‍යවරයාගේ විරෝධතාවය සහ අසතුට මධ්‍යයේ ය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර සිටින්නේ, ඊ පාස්පෝට් ව්‍යාපෘතිය විදුලි සන්දේශ ඇමතිවරයාගේ විෂය පථය යටතට නොගැනෙද්දීත්, එම අමාත්‍යවරයා මේ පිළිබඳ අසාමාන්‍ය උනන්දුවක් දක්වන්නේ මන්ද කියා ය.

කෙසේ නමුත් මෙහි තිබෙන පුදුම සහගත කාරණය වන්නේ ඩි ලා රු සමාගම වෙත සෘජු කොන්ත්‍රාත්තු පිරිනමන ක්‍රමය යටතේ එය ලබාදීම අනුමත කරන විට, යහපාලනය හා විනිවිදභාවය තුළ එවැනි සෘජු ප්‍රදානයන් ලබාදීම දිරිමත් නොකිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය, එය විසින්ම කඩ කිරීම සහ නොසලකා හැරීමයි. රාජපක්ෂ රෙජීමයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ එක් ප්‍රධානතම චෝදනාවක් වූයේ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර රාජපක්ෂ හිතෛෂීන්ට කොන්ත්‍රාත් ලබාදෙන බව ය. වත්මන් ආණ්ඩුව ද එම අවභාවිතයන්ට රස වැටී ඇති බව පෙනේ. මේ අනුව තමන්ගේ ම නීති උල්ලංඝනය කරමින් මෙගා කොන්ත්‍රාත්තු තමන් කැමති අය වෙත ලබා දෙමින් සිටින බව පෙනේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ දුෂිතම රටවල් අතර 2015 වසරේදී ලංකාව අංක 83 වූ අතර 2016 දී ලංකාව සිටින්නේ අංක 96 ය.

ඊ පාස්පෝට් ක්‍රමයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව 2015 වසරේදී ක්‍රමානුකූල ප්‍රවේශයක් ලබාගත්තේ විනිවිදභාවයෙන් යුතුව ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශකවරුන් විසින් මේ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදුකර ඊ පාස්පෝට් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ තාක්ෂණික රාමුව සම්බන්ධයෙන් ඉතා පුළුල් වාර්තාවක් ඉදිරිපත් කළේය. කෙසේ නමුත් වාර්තා වී තිබෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ මුදල් අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදුන් බවයි.

පාස්පෝට් සැපයීම සහ මුද්‍රණය සම්බන්ධයෙන් දැනට සිටින සැපයුම්කරුගෙන් විමසන විට ඔවුන් තහුවරු කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගතවූ වසර 3 තුළ පාස්පෝට් නිකුත්කරන ක්‍රමය වන ඊ පාස්පෝට් පර්සනලයිසේෂන් ක්‍රමය තත්වයෙන් උසස් කිරීම සඳහා රුපියල් මිලියන 100 කට වඩා වැය කර තිබෙන බවයි.

මේ අනුව දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පවතින මුද්‍රණ සහ තාක්ෂණික ක්‍රමය, නව ක්‍රමයක් සඳහා අති දැවැන්ත මහජන මුදලක් වැය කිරීම වෙනුවට පහසුවෙන් භාවිතා කළ හැකි ය.

තවද වත්මන් පාස්පෝට් සැපයුම්කරු විසින් ද ඊ පාස්පෝට් අවම මුදලකින් සැපයීම සහ දැනට පවතින ක්‍රමය ආණ්ඩුවට කිසිදු වැය බරක් ඇති නොවන පරිදි වැඩි දියුණු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද අපට දැනගන්නට ලැබේ. කෙසේ නමුත් ඩි ලා රු ලංකා සමාගම වෙත තරගකාරී ලංසු තැබීමකින් තොරව අසාධාරණ ලෙස කොන්ත්‍රාත්තුව ලබාදීමට විදුලි සන්දේශ ඇමතිවරයා සිදුකරන පීඩනය හමුවේ එම යෝජනාවට කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

දැනට පවතින වෙළඳපොළ තොරතුරුවලින් පෙනී යන්නේ ඩි ලා රු බ්‍රිතාන්‍ය සමාගම, ගතවූ වසර 20 තුළ පාස්පෝට් සම්බන්ධයෙන් කිසිදු තරගකාරී ටෙන්ඩරයක් දිනාගැනීමට සමත් වී නැති බවයි. එසේ වී තිබෙන්නේ ඔවුන්ගේ ඉතා ඉහළ නිෂ්පාදන මිල ගණන් සහ ජාතික ව්‍යාපෘති මෙහෙයවීමේදී ඔවුන් දක්වන අසමර්ථභාවය සනාථ කරමිනි. පසුගිය කාලයේ ඔවුන් ලබාගැනීමට සමත් වී ඇති කොන්ත්‍රාත්තු කිහිපය ද දේශපාලන බලපෑම් හරහා ආණ්ඩු සමග විනිවිදභාවයෙන් තොරව කටයුතු කිරීමෙන් ලබාගත් ඒවා ය.

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා සිය කැබිනට් පත්‍රිකාවේදී කියා සිටින්නේ ඩි ලා රු ලංකා සමාගමෙන් කොටස් 40% ක හිමිකම මුදල් අමාත්‍යාංශයට තිබෙන බවයි. මේ අනුව එම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමිමේදී තරගකාරී ලංසු තැබීමක් අවශ්‍ය නැති බවයි. අවාසනාවකට මෙන් මෙහිදී, මෙයට මාස කිහිපයකට පෙර මත්පැන් නිෂ්පාදන සඳහා සුරාබදු විස්තර සහිත ස්ටිකර් සැපයීමේදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශනය කළ ටෙන්ඩරය පිළිබඳ කාරණය ඉස්මතු කිරීමට ඔහුට අමතක වී තිබේ. මෙහිදී මෙම ටෙන්ඩරය ලබාදුන්නේ ඉන්දීය මුද්‍රණ සමාගමක් වන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගම වෙත ය. එහිදී ඩි ලා රු ලංකා සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව අසාර්ථක විය. අපට දැනගන්නට ලැබී තිබෙන කාරණා අනුව එහිදී ඩි ලා රු ලංකා විසින් සුරාබදු ස්ටිකර මුද්‍රණය සඳහා ඉදිරිපත් කර තිබූ ලංසුව, ජයග්‍රාහී ලංසුව මෙන් 300% ගුණයක් අධික එකක් විය. මෙම ටෙන්ඩර අගැයීම සිදුකළ කමිටුව නිරීක්ෂණය කර තිබුණේ ඩි ලා රු ලංකා සමාගම මූල්‍යමය වශයෙන් ස්ථාවර තත්වයක නොමැති බවත්, ඒ අනුව එම කොන්ත්‍රාත්තුව ලබාගැනීමට නුසුදුසු වන බවත් ය. මෙමගින් ඊ පාස්පෝට් කොන්ත්‍රාත්තුව, 40% ක මහා භාණ්ඩාගාර කොටස් හිමි ඩි ලා රු ලංකා සමාගමට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණය එහි ප්‍රතිපත්ති සමග අනුකූල නොවන බවයි.

වැඩිදුර තොරතුරුවලින් හෙළි වී තිබෙන්නේ ඩි ලා රු ලංකා සමාගම විසින්, ශ්‍රී ලංකාවේ බැංකු නෝට්ටු (මුදල් නෝට්ටු) මුද්‍රණය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් නිර්මාණය කිරීම පිණිස මුදල් අමාත්‍යාංශයට වරණීය කොටස් පිරිනමා ඇති බවයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඩි ලා රු ලංකා ලිමිටඩ් සමාගම, බැංකු නෝට්ටු ප්‍රසම්පාදනය සඳහා ගතවූ වසර 15 මුළුල්ලේම තෝරාගෙන තිබෙන්නේ සන්සන්දනාත්මක තරගකාරී මිලගණන් කැඳවීමකින් තොරව ය. මහ බැංකුව විසින් බැංකු නෝට්ටු මුද්‍රණය සඳහා ගෙවන මුදල, ඩි ලා රු ලංකා සමාගම විසින් එකලාම තීරණය කිරීම සහ පාලනය කිරීම සිදුකරනු ලබයි. මෙහිදී දැනගන්නට ලැබෙන්නේ තනි මූල ප්‍රසම්පාදනයක් හෙයින් ශ්‍රී ලංකා මහබැංකු විසින් ඩි ලා රු ලංකා සමාගම වෙත ඒ සඳහා ගෙවනු ලබන මිල, සමාන නිෂ්පාදිතයන් සඳහා වෙළඳපොළේ ගෙවනු ලබන මිල ගණන්වලට වඩා සන්සන්දනාත්මක ව ඉතා ඉහළ අගයක් ගනු ලබන බව ය.

මේ අනුව ඩි ලා රු ලංකා සමාගම විසින් කියන මුදල, ශ්‍රී ලංකා මහබැංකුව විසින් බැංකු නෝට්ටු මුද්‍රණය සඳහා ගෙවීම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුවට අති දැවැන්ත මුදල් සම්භාරයක් සෑම වර්ෂයකම අහිමි වෙයි.

තවද බැංකු නෝට්ටු ප්‍රසම්පාදන ගනුදෙනුවේ ‘ශුද්ධ බලපෑම’ (‘net effect’) එනම්, බැංකු නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහබැංකු විසින් ගෙවන ඉහළ මිල හේතුවෙන් ආණ්ඩුවට අහිමි වන මුදල සහ මුදල් අමාත්‍යාංශය විසින් 40% ක වරණීය කොටස් හිමිකමක් දැරීම නිසා උපයන ලාභාංශ අතර වෙනස ද, ශ්‍රී ලංකා ආණ්ඩුවට අතිශයින්ම අවාසිදායක සහ සෘණාත්මක වේ.

පහත දැක්වෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් ඩි ලා රු සමාගමේ වරණීය කොටස් හිමිකම හේතුවෙන් ගතවූ වසර 6 තුළ ලැබූ ආදායම සහ එයට සාපේක්ෂව අදාළ වර්ෂවලදී ඩි ලා රු සමාගම, බැංකු නෝට්ටු මුද්‍රණයෙන් ලබාගත් ආදායම ය.

මෙම ගනුදෙනුවේදී ශ්‍රී ලංකා ආණඩුවට සිය ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභය වර්ෂයකට 1%කටත් වඩා අඩු අගයක් බව ඉහත සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙයි. (අද වන විට භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය වර්ෂයකට 11% ඉක්මවයි). මේ අනුව මෙම ආදායම, භාණ්ඩාගාර බිල්පත්වලින් ලැබෙන ආදායමටත් වඩා අඩු අගයක පවතින බව පෙනේ. එසේ තිබියදීත් තවත් රුපියල් බිලියන 1.2 ක් මෙම සමාගමට ආයෝජනය කිරීමට ICTA විසින් ආණ්ඩුවට යෝජනා කරයි.

ආණ්ඩුවේ මෙම අඥාන පියවර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනාගතයේදී සිය පාස්පොට් සඳහා අසාධාරණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි මේ ප්‍රශ්නය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයෝ බිය පළ කරති. මෙසේ වනු ඇත්තේ පාස්පෝට් නිකුත් කිරීම මගින් ලංකා ආණ්ඩුවට ලැබෙන ආදායම ද සීඝ්‍රයෙන් පහළ වැටීමේ අවදානමක් මධ්‍යයේ ය. සෘජු කොන්ත්‍රාත් ලබාදීමේ මෙම ක්‍රමය හරහා මෙසේ ඩි ලා රු ලංකා සමාගමට ඊ පාස්පෝට් ව්‍යාපෘතිය පිරිනැමීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව වසරකට දළ වශයෙන් රුපියල් බිලියනයක ආදායමක් අහිමි කර ගනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top