1150 x 80 px

 

සාක්ෂිකරුවන්ට බලපෑම් කළායැයි සජින් වාස්ගේ ඇප අවලංගු කරන්න ඉල්ලීමක්

තමන්ට එරෙහිව ඇති නඩුවක සාක්ෂිකරුට තර්ජනය කිරීම නිසා හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ඇප අවලංගු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ඉල්ලීමට නියමිතව පවතින බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තාවේ.

 

ක්‍රිශ් සෙල්වනායගම් රජයේ කොන්ත්‍රාත්කරුවෙකි. ගොඩනැගිලි, මහාමාර්ග ඇතුළු මහාපරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පසුගිය සමය තුළ ඔහුට අයත් කාසන්ස් මැනේජ්මන්ට් සර්විසස් සමාගම විසින් ඉටු කර ඇත. එවකට පැවති රජයේ ප්‍රබලයකු වූ සජින් වාස් ගුණවර්ධනගේ උපකාරයෙන් ඔහු ලබාගත් සමහර කොන්ත්‍රාත්තු වල උප කොන්ත්‍රාත්තු පවරා ඇත්තේ සජින් වාස්ටම අයත් කොස්මොස් කන්ස්ට්‍රක්ශන්ස් සමාගමටය.

2012 වසරේදී එසේ ලබාගත් කොන්ත්‍රාතුවක් සඳහා ලැබුණු රුපියල් මිලියන 200ක මුදලක් ක්‍රිශ් විසින් සජින් වාස්ට කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීම සඳහා ලබා දී ඇතත් සජින් වාස් එම මුදල රැගෙන කොන්ත්‍රාත්තුව සම්පූර්ණ නොකර මඟහැර ඇත. ඒ හේතුවෙන් ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස ක්‍රිශ්ට නැවතත් රුපියල් මිලියන 200ක් යොදවා කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට සිදුව ඇත. සජින් වාස්ගේ දේශපාලන බලයට ඇති බිය නිසා නිහඬව සිටි ක්‍රිශ් 2015 ආණ්ඩු මාරුවත් සමඟම මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශනය කර B 22466/1/15 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇත. සජින් වාස්ට එරෙහිව මේ සඳහා චෝදනා ගොනුකර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනතේ 4 වන වගන්තිය යටතේය. මේ සම්බන්ධයෙන් සජින් වාස්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණු අතර දැනට ඔහු සිටින්නේ ඇප මත නිදහස්වය.

එසේ ඇප මත නිදහස්ව සිටියදී පසුගියදා ක්‍රිශ් සෙල්වනායගම්ව සොයා ගොස් ඇති සජින් වාස් ඔහුට තර්ජනය කර ඇත. ඒ, ක්‍රිශ්ගෙන් ලබාගත් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලහත්කාරයෙන් ලබාගත් ඒවා බව අධිකරණයට කියන ලෙසත් එම මුදල් ගනුදෙනු දැන් තමාට අමතක බව අධිකරණයට කියන ලෙසත් පවසමිනි. නැවතත් රාජපක්ෂ රජයක් නුදුරේම එන බව කියා තර්ජනය කළ හෙයින් බියවුණු ක්‍රිශ් මේ පිළිබඳව පැමිණිලි කිරීමට හෝ ගොස් නැත.

එහෙත් වෙනත් පාර්ශ්වයක් මගින් මෙම තර්ජනය පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආරංචි වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව විමර්ශනය කර ඇත. ලබන වසර මුලදී මෝසමක් මඟින් මෙම නඩුව කැඳවා මෙම තර්ජනය පිළිබඳව අධිකරණයට දැනුම් දී සජින් වාස්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.

හෙලිකොප්ටරයකුත් බලෙන්ම දීලා

සජින් වාස්ගේ කොස්මොස් ඒවියේශන්ස් සමාගමට අයත්ව තිබූ හෙලිකොප්ටරයක් ද ඔහු විසින් ම බලෙන් ම මෙන් ක්‍රිශ් සෙල්වනායගම්ගේ ඇඟේ ගසා තිබේ. මෙම හෙලිකොප්ටරය LOLC සමාගමෙන් මූල්‍ය පහසුකමක් මත ලබාගෙන වාරික නොගෙවා පැහැර හරින ලද හෙලිකොප්ටරයකි. ක්‍රිශ් සෙල්වනායගම්ගේ සංචාරක ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගන්නා ලෙස හෙලිකොප්ටරය ඔහුට පවරා දී ඇති අතර ඔහුගෙන් මසකට රුපියල් මිලියන 5 බැගින් මාස 4ක් තුළ රුපියල් මිලියන 20ක් ද සජින් වාස් විසින් ලබා ගෙන ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top