1150 x 80 px

 

විදුලි සංදේශ හා ඩිජිටල් අමාත්‍යංශයේ, ග්‍රාම නිළධාරීන් සඳහා TAB ලබාදීමේ ව්‍යාපෘතිය වැරදි පාරේ
2017 වසරේ අයවැය යෝජනා යටතේ දිවයින පුරා සියලු ග්‍රාම නිළධාරීවරුනට 2 in 1 වර්ගය ටැබ් පරිගනක ලබාදීමට යෝජනා විය. එම යෝජනාවට අනුව 2017 අගෝස්තු 25 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ දැන්වීමක් හරහා මෙම පරිගනක සඳහා ලංසු ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධියේ දැනුම් දී තිබිණි. 2017 පරිපූරක ඇස්තමේන්තු මුදලින් මිලදී ගැනීමට සැළසුම් කර තිබූ මෙම ප්‍රසම්පාදන, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ නිළධාරීන්ගේ අත්තනෝමතික තීරණ නිසා වැරදි මාර්ගයේ ගමන් කරමින් තිබෙන බව ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වේ.
රජයේ සියලු පිළිගත් ප්‍රසම්පාදන නීති-රීති උල්ලංඝනය කරමින් සියලු සුදුසුකම් සහිතව අඩු මිල ගණන් යටතේ ලංසු ඉදිරිපත් කළ ලංසුකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කරමින් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දී තිබේ. මෙය එකී අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සිය මඩිය තරකර ගැනීම සඳහා සිදුකළ ගනුදෙනුවකි.
 
මෙම ටෙන්ඩරයට අදාල පෙර ලංසු කැඳවීම් 2017 සැප්තැම්බර් 08 වන දින පවත්වන ලදුව ලංසුකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. අමාත්‍යංශයේ නිළධාරීන්ට අමතරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිළධාරියෙකුද මෙම පූර්ව ලංසු කැඳවීමේ හමුවට සහභාගි විය.
 
මේ අනුව ග්‍රාම නිළධාරීන් වෙනුවෙන් 2 in 1 වර්ගයේ පරිගනක 7000 ක් ලබාදීම සඳහා වූ ටෙන්ඩරය 2017 වසරේ සැප්තැම්බර් 21 වන දින ලංසුකරුවන් හය දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත කරනු ලැබීය. මෙහිදී සුදුසුකම් ලත් ලංසුකරුවන් අතරින් අවම ලංසුව රුපියල් මිලිනය 683 ක් වූ අතර දෙවැනි ලංසුව මිලියන 731 කි. උපරිම ලංසුව සඳහන්ව තිබුනේ රුපියල් මිලියන 854 ක් ලෙසයි.
 
මෙම දූෂිත ගනුදෙනුවේ මූලාරම්භය වන්නේ මෙතැනයි. සාමාන්‍යයෙන් මෙවැනි මිලියන ගණනක ගනුදෙනුවකදී රජය අනුගමනය කරන පිළිවෙත වන්නේ තාක්ෂණ ඇගයීම් කමිටුවක් හරහා ලංසුකරුවන්ගේ තාක්ෂණ ඇගයීම් පරික්ෂාවක් සිදුකිරීමයි. ඒ හරහා එම ලංසුකරුවන් මෙම ප්‍රසම්පාදනය සඳහා සුදුදු වන්නේද යන්න සලකා බැලීම අනිවාර්ය කරුණකි. රජයේ දැනට භාවිතා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනි ලෙස කටයුතු කිරීමට කිසිදු රාජ්‍ය නිළධාරියෙකුට හැකියාවක් නොමැත.
 
මෙවැනි අවස්ථාවක ටෙන්ඩර් මණ්ඩලයේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ වගකීම වන්නේ ඔවුන්ට පැවරී ඇති වගකීම හඳුනාගෙන රජයට අගතියක් නොවන ආකාරයෙන් සහ මහජන මුදල් නිවැරදිව භාවිතා කිරීම සඳහා කටයුතු කිරීමයි.
 
ලංසු ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත අමාත්‍යංශය ලේකම්වරයා විසින් මිලියන 731 ක ලංසුවක් ඉදිරිපත් කළ V S Information Systems ආයතනයට මෙම ටෙන්ඩරය ලබාදීමට තීරණය කර ඇති බව ලංසුකරුවන් සියලු දෙනා වෙත දන්වා තිබේ. ලේකම්වරයා විසින් වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඇත්නම් එය ජනාධිපති අභියාචනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
 
මේ අනුව මෙම ටෙන්ඩරයට අදාලව එක් ලංසුකරුවකු විසින් ජනාධිපති අභියාචනා මණඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එකී පැමිණිල්ලට අදාලව 2017 ඔක්තෝබර් 27 වන දින ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශනයක් සිදුකළ අතර මෙම විමර්ශනය සඳහා අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය, තාක්ෂණ කමිටුව නියෝජනය කළ නිළධාරීන් දෙදෙනෙකු සහ විරෝධතාවය ඉදිරිපත් කළ සමාගම සහභාගි වී තිබේ.
 
මෙම විමර්ශනය පවත්වා දැනට දින 79 ක් පමණ ගතවී ඇති අතර විමර්ශනයෙන් සිදුවූයේ කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති. එසේම මෙම ව්‍යාපෘතියද අතරමග නතර වී ඇති අතර ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණික කමිටුව නිවැරදිව කටයුත කළේ නම් මේ වනවිට අදාල ටැබ් පරිගණක ග්‍රාම නිළධාරීවරුන්ගේ අතට පත්විය යුතුව තිබිණි.
 
ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණ කමිටවු නියෝජනය කළ නිළධාරීන් ටෙන්ඩරය ලබාදුන් සමාගම සමග සමීප හිතවත්කමක් ඇති බවට සාක්ෂි ලැබී ඇති අතර පහත ඡායාරූපයේ, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කරට අත දමාගෙන සිටින්නේ V S Information Systems ආයතනයට පරිගනක සැපයුම් සිදුකරන EZY නමැති සමාගමේ සේවය කරන කසුන් වර්ණකුලසූරිය නමැත්තාය.
 
grama niladhari 1
 
මීට අමතරව ICT අයතනය ද EZY සමාගම හා සමීප සබඳතා පවත්වන අතර පහත ඡායාරූප එම ආයතනවල සේවය කරන්නන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ලබාගත් ඡායාරූප වේ. 
 
grama niladhari 2
grama niladhari 3
 
අඩු ලංසු ඉදිරිපත් කළ ආයතන තිබියදී පෞද්ගලික හිතවත්කම් මත හෝ අල්ලස් මත හෝ මහජන මුදල් හිතු හිතූ පරිදි වියදම් කිරීමට කිසිදු රජයේ නිළධාරියෙකුට අයිතියක් නොමැත. කෙසේ හෝ අවසානයේ සිදුව ඇත්තේ අයවැය යෝජනා හරහා ග්‍රාම නිළධාරීවරුන් වෙත ලැබීමට නියමිතව තිබූ ටැබ් පරිගනක දිගින් දිගටම ප්‍රමාදවීමයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top