1150 x 80 px

 

ශ්‍රී.ල.නි.ප ය තනි ආණ්ඩුවකට ලෑස්තියි. එ.ජා.පය කැළඹීමෙන්

උද්ගත ව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට තනි ආණ්ඩුවකට අවශ්‍ය වාතාවරණය සකස් කර ගෙන ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි. දැනටමත් ඔවුන් විසින් 117 දෙනෙකුගෙන් යුත් බහුතර බලයක් ගොඩ නගා ගෙන තිබේ.

තිලංග සහ දයාසිරිගේ කපුකම

මේ අන්දමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් දිනාගැනීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින්නේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසිනි.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට සිය ස්ථාවරය ශ්‍රීලනිප ය වෙත දන්වා ඇත්තේ තමන්ගේ පූර්ණ සහයෝගය මේ සඳහා ලබාදෙන බවට ය. එසේම චම්පික රණවක, අතුරලියේ රතන හිමි, මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ද ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීම සඳහා තම සහයෝගය ලබාදෙන බව මේ වන විට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පවතින තත්වය යටතේ බොහෝ විට අගමැති ධුරයට පත්වනු ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ය.

කබීර්ගේ නිවසේ සාකච්ඡා

මෙම අර්බුදකාරී තත්වය සැළ වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ විශාල කැළඹීමක් හටගෙන ඇති අතර, මන්ත්‍රීවරුන් 18 දෙනෙක් මේ වන විට ඇමති කබීර් හෂීම්ගේ නිවසේ රැස් වී සාකච්ඡා පවත්වමින් සිටිති.

සජිත් බෑ කියයි.

ඇමති කබීර් හෂීම්ගේ නිවසේ එසේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා පිළිබඳ ගැටළුව මතු වී ඇත. එහිදී සජිත් ප්‍රේමදාස ගේ නම යෝජනා වී තිබේ. එවිට සජිත් ප්‍රේමදාස කියා ඇත්තේ, “නෑ. මේක මට නායකත්වය ගන්න අවස්ථාව නෙවෙයි. මේ තියෙන ක්‍රමයම දිගටම අරගෙන යමු. මම අගමැතිතුමාට සහයෝගය දෙනවා” යනුවෙනි.

මධ්‍යම රාත්‍රියේ ජනපති සහ අගමැති අතර හමුවක්

මේ අතර 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ. එහිදී ජනපතිවරයා අගමැතිවරයාට දන්වා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් මන්ත්‍රීවරුන් 117 කගේ සහයෝගය හිමි වී තිබෙන බව ය. “මට මේ 117 සිකුරාදා දවල් 12ට කලින් ලැබෙනවා. එතකොට ඔබතුමා මොනවද කරන්නෙ?” යැයි ජනාධිපතිවරයා විමසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා කිසිදු කලබලයකින් තොරව එයට පිළිතුරු දී තිබෙන්නේ මෙසේ ය. “කිසි ප්‍රශ්නයක් නෑ. 117 ක් ඉන්නව කියල පෙන්නුවොත් ඊට පස්සෙ කරන දේ මම පෙන්වන්නම්” යැයි අගමැතිවරයා එහිදී කියා තිබේ.

2020 වන තෙක් තනතුරු එපා!

මේ අතර අපට වාර්තා වන අන්දමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාදෙන්නේ එක් කොන්දේසියක් පිට ය. එනම් ඔවුන් කියා තිබෙන්නේ තමන් සහයෝගය දෙන නමුත් වසර 2020 වන තෙක් කිසිදු තනතුරක් භාර නොගන්නා බව ය.

දුමින්දගෙන් විරෝධයක්

කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ නව වාතාවරණයත් සමග කැළඹිලි සහගත බවක් වර්ධනය වෙමින් තිබේ. එනම්, සන්ධාන රජය නිර්මාණය කිරීම පිණිස විශාල වැඩ කොටසක් කළ දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු 10 දෙනෙකුගේ පිරිසක් විසින්, ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වී ආණ්ඩුවක් පිහිටුවීමට විරෝධය පළ කිරීමයි.

බැසිල් හවුල් නොවෙයි.

මේ නවතම තත්වයේ අැති සුවිශේෂීභාවය වන්නේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මේ කිසිදු කාරණයක් සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවීමයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top