Untitled 1

රනිල් හා කරු බිඳවීමට සජිත්ගෙන් නැවත මෙහෙයුමක් !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා එකිනෙකා කෙරෙහි බේදභින්න කිරීම සඳහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයුමක් අරඹා ඇති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාව පුද්ගලිකව හමුවී ඇති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ අගමැතිවරයාව තනතුරෙන් පහකිරීම සඳහා යහපාලන ආණ්ඩුවේ නායකයන් අතර කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවයි.
 
එම කුමන්ත්‍රණයට අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය සමග එක්වී නව රජයක් පිහිටුවීමට වෑයම් කරන අතර එම රජයේ අගමැතිවරයා ලෙස කරු ජයසූරිය මහතා පත්වීමට නියමිත බව සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.
 
තවදුරටත් අගමැතිවරයාට විස්තර පවසා ඇති සජිත් ප්‍රේමදාස මහතා මෙම කුමන්ත්‍රණයේ සම්බන්ධීකාරකවරයා ලෙස සඳහන් කොට ඇත්තේ එජාප සන්නිවේදන අංශ ප්‍රධානී සහ හිල්ටන් හෝටලයේ වත්මන් සභාපති  ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාවය.
 
මේ වනවිට පක්ෂයෙන් කොන්වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වන්නේ කෙසේ හෝ අගමැතිවරයාව එම පදවියෙන් හා පක්ෂ නායකත්වයෙන් පන්නා දමා තමන් නායකයා වීමය. මෙම පුද්ගලික හමුවේදී සජිත් රනිල්ට පවසා ඇත්තේ ශ්‍රීලනිප ඇමතිවරුන් වැඩක් කිරීමට නොදී කකුලෙන් අදිනවා නම් පැකිලීමකින් තොරව රජයෙන් ඉවත් වී නැවත විපක්ෂයේ අසුන් ගතයුතු බවයි.
 
සජිත්ගේ මෙම සටකපට යෝජනාව පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇති අගමැතිවරයා ඔහුගේ යෝජනාවේ යටි අරුත වහා වටහාගෙන තිබේ. සජිත්ගේ හෙලිදරව්වෙන් මුලදී අගමැතිවරයා තරමක් සසල වී ඇතත් එහි සැබෑ අර්ථය වටහා ගැනීමට එතුමාට වැඩි කාලයක් ගතවී නොමැත.
 
මේ පිළිබඳව කන වැකුණු කතානායක කරු ජයසූරිය මහතා වහා අගමැතිවරයා හමුවී පවසා තිබෙන්නේ තම දේශපාලන දිවියේ ගමනාන්තයට තමන් පැමිණ ඇති බවයි. තම නිළ කාලයෙන් අනතුරුව අනිවාර්යෙන්ම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කර ඇති ජයසූරිය මහතා තමා පිළිබඳව බියක් හෝ සැකසංකාවක් තබා නොගන්නා මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. 
 
ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාව එජාප විධායක කමිටුවට පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වූ අවස්ථාවේ ඊට දැඩිලෙස එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ 'ක්‍රිෂාන්ත කුරේ දැඩි රනිල් හිතවාදියෙක්' බවයි. නියෝජ්‍ය නායකවරයාගේ විරෝධය නොතකා අගමැතිවරයා එම පත්කිරීම සිදුකරන ලදී.  
 
අගමැතිවරයා සිය පදවිය නිසි ආකාරයෙන් හසුරුවමින් ඉදිරි කාලය තුළ තවදුරටත් ස්ථාවර වුවහොත් තම නායකත්ව සිහිනය සදාකාලිකව බොඳ වී යන බව පසක් වී ඇති සජිත් ප්‍රේමදාස නැවතත් පරන පුරුදු සෙල්ලම පටන් ගැනීම එජාප ජ්‍යෙෂ්ටයින්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top