'අයියන්ඩිය බිය නොවන්න, නඩුව දිනන සැටි මම පෙන්වන්නම්' - බැසිල් කියයි !
ඇමරිකා එක්සත් ජනපදයේ සිට අද (25) ශ්‍රී ලංකාවට පැමිණි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරු බැසිල් රෝහණ රාජපක්ෂ එසේ පැමිණ ඇත්තේ අනිද්දා (27) කොළඹ මහාධිකරණයේ ඔහුට විරුද්ධව පවරා ඇති නඩුවේ අධිචෝදනා භාරගැනීමට බව කියවේ.
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන තෙක් තමා ලංකාවට නොපැමිණෙන්නේ යැයි සඳහන් කරමින් සිටි බැසිල් රාජපක්ෂ මෙසේ තකහනියේ, කිසිවෙකුට නොදන්වා අද ලංකාවට පැමිණ ඇත්තේ, රජයේ නීතිපතිවරයා ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීම වැලැක්වීමේ අරමුණිනි.
 
බැසිල් රෝහණ රාජපක්ෂට එරෙහිව මෙසේ රජයේ නීතිපතිවරයා විසින් අධිචෝදනා එල්ල කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහු සතු මල්වාන ඉඩම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අනෙක් පුද්ගලයා වන්නේ කෝටිපති ව්‍යාපාරික තිරු නඩේසන්ය. ඔහු ද මේ වනවිට විදේශගතව සිටින බව වාර්තා වේ.
 
මොවුන් දෙදෙනාට අමතරව මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මෙම නඩුවේ රජයේ ප්‍රධාන සාක්ෂිකරු වී සිටීම පුදුම එළවන සුලු වේ. බැසිල්ට හා තිරුට එරෙහිව මුදිත ජයකොඩිව ප්‍රධාන සාක්ෂිකරුවා ලෙස යොදාගැනීම නීතිකෘත්‍යයට බරපතල අගතියක් සිදුකරන බව ප්‍රවීන නීතිඥයන්ගේ මතයයි. එය ප්‍රධාන මංකොල්ලකරුවා නිදහස් කොට ඔහුගේ අසල්වැසියන් අත්අඩංගුවට ගැනීමක් ලෙස සැලකිය හැකි වේ. 
 
මේ පිළිබඳව හොඳින් දන්නා බැසිල් රාජපක්ෂ කිසිදු බියකින් හො චකිතයකින් තොරව ස්වෙච්ඡාවෙන් අද ලංකාවට පැමිණ ඇත්තේ 'අයියන්ඩි බිය නොවන්න, නඩුව දිනන සැටි මම පෙන්වන්නම්' යනුවෙන් මහින්දට හා ගෝඨාට පවසමිනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top