1150 x 80 px

FCID දෙවන උපන්දිනය සමරයි!

ශ්‍රී ලංකා පොලිසියේ අවුරුදු 151 ක දිගු ඉතිහාසය තුළ, වඩා ආන්දෝලනාත්මක හා වර්ණාත්මක කොට්ඨාශය ලෙස හැදින්විය හැකි මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් Financial Crime Investigation Division අද (26) සිය දෙවන උපන්දිනය සමරනු ලැබේ.

2015 ජනවාරි 08 වන දින යහපාලන ආණ්ඩුවේ ප්‍රභවයත් සමග 2015 පෙබරවාරි මස 26 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් මූල්‍ය අපරාධ විමර්ශණයන් සඳහා FCID  පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳ මහජන මතය වෙනස් කොට ජනතා විශ්වාසය ඇති කිරීමටත් පවතින රජයන් තුළ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර පොදු දේපළ පිළිබඳ මූල්‍ය විනයක් (Fiscal Discipline) ඇති කිරීමටත්, වසර 2 ක් වැනි කෙටි කාලයක් තුලදී මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් සිදුවූ මෙහෙය ඉතා අගය කළ යුතු මට්ටමක පවතී.

සුළු සුළු අඩුපාඩු සිදු වුවද ගත වූ වසර 2 ක කාලය තුල FCID විමර්ශණ මගින් රජයට රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් උපයා ගත හැකි විය. මෙම රුපියල් බිලියනයක මුදලට බැසිල් රාජපක්ෂ සතු මල්වාන ඉඩමේ වටිනාකම ඇතුළත් නොවේ. එකී දේපළ ලබන මාර්තු 29 වන දින රුපියල් මිලියන 208 කට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිත වේ.

පසුගිය වසර 2 ක කාලය පුරා FCID ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යලංකාර මහතාය. FCID යන නම නිර්මාණය කරනු ලැබුවේ ඔහු විසිනි.

පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ‘FCID එකේ එවුන් පුදුම විදිහට ජරාව ගන්නවා. ඒක ආණ්ඩුවට හොඳ නෑ' කියාය. හිටපු ජනාධිපතිවරයාගේ  කතාවේ උත්ප්‍රාසය මනාව තේරුම් ගෙන ඇති අගමැතිවරයා ඊට පිලිතුරු දී ඇත්තේ ‘මං ඒ ගැන හොඳින් බලාගෙන ඉන්නෙ' යනුවෙනි.

FCID විසින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් පිළිබඳ හෝඩුවාවක් හිටපු ජනාධිපතිවරයාට දැනී ඔහු මේ ආකාරයෙන් හැසිරෙමින් සිටින්නේ එකී විමර්ශණ කවර හෝ ආකාරයෙන් නවතාලීම සඳහාය.

ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් කළ FCID ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති  වෛද්‍යලංකාර මහතා පවසා සිටියේ ‘FCID පරීක්ෂණවලට යහපාලන ආණ්ඩුවේ කිසිදු දේශපාලඥයෙකුගෙන් කිසිදු බලපෑමක් කිසිවිටෙක ලැබී නැති බවයි. එසේ පීඩනයන් එල්ල වූයේ නම් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, විමල් වීරවංශ වැන්නන් කිසිදාක අත්අඩංගුවට ගැනීමට හැකි නොවන බව'යි. එමෙන්ම ඉදිරි අත්අඩංගුවට ගැනීම්වලදී මහජනතාවට FCID ය නියම ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් බවට තවත් තහවුරු  වනු ඇතැයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top