1150 x 80 px

'වන්ෂොට්'ගේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් ගේම්
සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දේශපාලනයට පැමිණියේ නළුවකු ලෙස ලැබූ ජනප්‍රියත්වය උපරිම ලෙස භාවිතා කරමිනි. එම ජනප්‍රියත්වය හේතුවෙන් ඔහු දේශපාලනය තුළ ඉතා වේගවත් ගමනක නිරත වී වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් සිටී.
රන්ජන් රාමනායක මහතා සිය සිනමාපට හරහා දූෂිත දේශපාලනඥයන් පිළිබඳව හෙළිදරව් කළ අතර දේශපාලනයට පැමිණීමෙන් පසු ද තමන් දූෂිත දේශපාලනයට හා දූෂිත දේශපානඥයන්ට එරෙහිව දැඩි සටනක නිරතවෙමින් සිටින බව පෙන්වීමට හැමවිටම උත්සාහ දරයි.
 
රන්ජන් රාමනායක මහතා මේ දිනවල විශාල මාධ්‍ය සන්දර්ශනයක් පවත්වමින් සිටින්නේ ඔහු ආසන සංවිධායක ධූරය දරන දිවුලපිටිය ප්‍රදේශයේ සිදුකරන පස් ජාවාරම්, ගල්කොරි ඇතුළු පාරිසකරික හානි ඈඳා ගනිමිනි. පසුගිය දිනවල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමගද මේ සම්බන්ධයෙන් පැටලුණු අතර ඔහු එහිදී ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනය හරහා කතා කළේ ඔහුට සුපුරුදු වන්ෂොට් භූමිකාවට ආරූඪ වෙමිනි.
 
ඒ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ දේශපාලන භූමිකාවේ එක් පැතිකඩක් පමණි. මේ කියන්නට යන්නේ ඔහු දේශපාලන මඩ ගොහොරුවේ පිපුණු නෙළුමක් නොවන බවයි.
 
දූෂිත දේශපාලනයට හා දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව සටන් කරන බව පවසමින්, දූෂිත දේශපාලනය අවසන් කරන බව පවසමින් දේශපාලනයට පැමිණි, දූෂිත දේශපාලනයට එරෙහිව මහා සටනක් ගෙනයන බව සමාජයට පෙන්වීමට උත්සාහ කරන රන්ජන් ද කටයුතු කරන්නේ අන්ත දූෂිත දේශපාලනඥයෙකු ලෙසයි. දිවුලපිටිය ආසනයේ ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් හා ඔවුන්ගේ හෙංචයියන් විසින් පවත්වාගෙන යන ගල් කොරි සහ පස් කැපීම්වලට ඔහු විරුද්ධ වන්නේ ඉන් සිදුවන පරිසර හානි නිසා නොවේ. ඔහුගේ එකම අභිප්‍රාය එම දූෂිත ව්‍යාපාර තම පාක්ෂිකයන්ට ලබාදීමයි. නියෝජ්‍ය ඇමතිවරයා විශාල මාධ්‍ය සන්දර්ශනය පවත්වමින් සිටින්නේ ඒ සඳහාය.
 
ඔහුට අනුව දිවුලපිටියේ සිටිය යුතු එකම චන්ඩියා වන්ෂොට් පමණි. එය වෙනත් පක්ෂවලට පමණක් නොව ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ද අදාලය. ඒ අනුව දිවුලපිටිය ආසනයේ සියලු දේ සිදුවිය යුත්තේ ඔහුගේ අනුදැනුම පිටය.
 
දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය තුළ ගල්කොරි, පස් කැපීම් ආදී සියලු පරිසර හානි නැවැත්වීමට දිවිහිමියෙන් සටන්වදින බව පවසන රන්ජන් රාමනායක මහතා ද හොර රහසේ වෙනත් ජාවාරම්කරුවන් හරහා සිදුකරන්නේ ද එම ජාවාරම්ය. රන්ජන්ගේ සමීපතමයෙකු වන වසන්ත දංගල්ල මෙම ජාවාරම්වල ප්‍රධානියාය. රන්ජන් රාමනායක සුදු පිරුවට හැඳගෙන මෙම ජාවාරම් සිදුකරන්නේ වසන්ත දංගල්ල ඇතුළු පිරිසක් යොදවමිනි.
 
විශේෂත්වය වන්නේ ජාවාරම් සිදුකරන දේශපාලනඥයන් පිටුදැකිය යුතු බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන රන්ජන් තම හිතවතුන්ගේ, හෙංචයියන්ගේ ජාවාරම් වෙනුවෙන් දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කිරීමයි. පසුගිය වසරේ නොවැම්බර් මස 18 වැනි දිනය සහිත ලිපියකින් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරියගෙන් ඉල්ලා සිටින්නේ අංක 61-බී, හල්පෙ, ඇඹරැල්ලගහ වත්ත දරන ලිපිනයෙහි පස්කැපීම සඳහා නිකුත් කර ඇති බලපත්‍රය දීර්ඝ කරන ලෙසයි. නියෝජ්‍ය ඇමතිවරයා එක් පැත්තකින් පස් ජාවාරම්වලට, ගල්කොරි පවත්වාගෙන යාමට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියට බැනවදින, තර්ජනය කරන අතර අනෙක් පැත්තෙන් දිස්ත්‍රික් ලේකම්වරියගෙන් ඉල්ලා සිටින්නේ සිය හිතවතුන්ගේ පස් කැපීමේ බලපත්‍ර දීර්ඝ කරන ලෙසයි.
 
නියෝජ්‍ය ඇමතිවරයා මේ පෙන්වමින් සිටින්නේ වෙන කිසිවක් නොව දේශපාලනඥයන්ගේ සුපුරුදු දෙබිඩි පිළිවෙතයි. ඔහු ජාවාරම්කරුවන්ට එරෙහිවන බව සමාජයට පෙන්වමින්, ඔවුන්ට එරෙහිව වන්ෂොට් භූමිකාවට ආරූඪවෙමින් මේ සිදුකරන්නේ වක්‍රාකාරයෙන් හිතවතුන්ගේ, හෙංචයියන්ගේ ජාවාරම්වලට ඉඩ සලසාදීම හා ඔවුන්ව ආරක්ෂා කිරීමයි.
 
ගල්කොරිවලට සහ ඒ හා සම්බන්ධ ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරනවා නම් ඔහු එය ආරම්භ කළයුත්තේ තම හිතවතුන්ගෙන් හා පාක්ෂිකයන්ගෙනි. එයට හේතුව ඔහුගේ අනුදැනුම හා ආරක්ෂාව යටතේ ගල්කොරි පවත්වාගෙන යන්නන් හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ඔහු හොඳින්ම දන්නා හෙයිනි. 2015 වසරේ ඔක්තෝබර් පළමුවැනි දින රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත යවා ඇති ලිපියකට අදාල ජාවාරම්කරුවන්ගේ නම් සහිත ලැයිස්තුවක් ද අමුණා ඇත.
 
අදාල ලිපියෙන් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරන්නේ ඇමුණුමේ සඳහන් පුද්ගලයන් මැතිවරණ ජයග්‍රහණය සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ බවයි. එම ජාවාරම්කරුවන්ගේ ජාවාරම් සිදුකරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් රන්ජන් රාමනායක මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඕනෑම තැනක සිදුකරන කතාවකදී දූෂණයට, වංචාවට, දූෂිත දේශපාලනයට වැඩි ඉඩක් හිමිවේ. ඔහු ඒ හරහා පෙන්වන්නේ තමන් බොක්කෙන්ම දූෂිත දේශපාලනයට විරුද්ධ දේශපාලනඥයෙකු බවයි. එහෙත් එම කතාවට සාපේක්ෂව ඔහුගේ ක්‍රියාව නම් සහමුලින්ම විරුද්ධය. ඔහු එරෙහිව වන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ගේ දූෂණයට, වංචාවට, ජාවාරම්වලට පමණි.
 
ඔහුගේ සුපිරිසිදු දේශපාලන න්‍යායට අනුව සියලු ජාවාරම් සිදුකළ හැක්කේ වන්ෂොට්ගේ හෙංචයියන්ට පමණි. දිවුලපිටිය ආසනයේ සියලුදෙනා වන්ෂොට්ගේ ආධිපත්‍යයට නතුවිය යුතුය. ඔහුට ඉහළින් කපුටෙකුටවත් පියාඹන්නට නොහැකිය. මේ සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ වන්ෂොට්ගේ රැ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියේ එක් පියවරක් පමණි.
 
සිය නියෝජ්‍ය අමාත්‍යධූරයට හිමි නිළ වාහන පවා ලබා නොගන්නා බව පවසමින්, තවමත් ජීවත්වීමට නිවසක් පවා නොමැති බව පවසමින් මාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හෙලන, ඒ හරහා වටිනාකමක් ආරෝපණය කරගැනීමට උත්සාහ කරන නියෝජ්‍ය ඇමතිවරයාගේ සැබෑ තතත්වය එයයි.
 
මීට අමතරව රුපියල් ලක්ෂ 100 ක මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරගැනීම සඳහා උත්සාහ කිරීම සහ පොලිස් නිළධාරියෙකුට තර්ජනය කිරීමේ සිදුවීමකට ද නියෝජ්‍ය ඇමතිවරයාගේ නම පැටලී තිබේ. අදාල පොලිස් නිළධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිවාසිකම් නඩුවක් ගොනුකර තිබේ. රන්ජන් රාමනායක මහතා එහි එකොළාස්වැනි වගඋත්තරකරු ලෙස නම්කර ඇත. මෙම සොරකම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B-1277/16 යටතේ නඩුවක්ද ගොනුකර තිබේ. මෙම සිදුවීම අධිකරණය හා සම්බන්ධ බැවින් ඒ සම්බන්ධ සියලු සාක්ෂි සහිතව ඉදිරියේදී අප පළකිරීමට බලාපොරොත්තු වෙමු.
 
පැවති පාලනය විවේචනය කරමින්, ඒ වෙනුවට විනයගරුක පාලනයක් ස්ථාපිත කරන බව පවසමින් බලයට පත්වූ වත්මන් යහපාලනයද ගමන් කරන්නේ පරණ පාරේමය. එම ගමන වෙනස් නොකර ගතහොත් ගමනේ අවසානය වැඩි ඈතක නොවේ. විශේෂයෙන් රන්ජන් වැනි සමාජයට පෙනෙන්නට සුදු පිරුවට හැඳගෙන් යටින් ගේම් ගහන දේශපාලනඥයන් නිසා එම අවසානය ඉතා ඉක්මනින් උදා වනු ඇත.
 
වන්ෂොට්ලා මෙන් පෙනී සිටිමින් රෑ ඩැනියෙල් - දවල් මිගෙල් ප්‍රතිපත්ති අනුගමනය කරන රන්ජන් වැන්නන් හෙළිදරව් කළයුතු අතර එපමණකින් නොනැවතී එම ප්‍රතිපත්ති නතර කළයුතුය. පැවති ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු පෙරළියක් සිදුවනතුරු බලාසිටින්නට සිදුවූ අතර යහපාලන ආණ්ඩුවේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල්ලාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමට නැවතත් ආණ්ඩු පෙරළියක් සිදුවනතෙක් බලා සිටින්නට සිදුවනු ඇත. යහපාලන ආණ්ඩුවේ ගමන අනුව නම් කරුණු කාරණා සිදුවන්නේ එලෙසයි.
 
මෙම ලිපිය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අප විසින් යොමුකළ අතර ඔහුගේ පිළිතුර ලද සැනින් පළකිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
 
 
ranjan ramanayaka 1
ranjan ramanayaka 2
ranjan ramanayaka 3
ranjan ramanayaka 4
ranjan ramanayaka 5

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top