1150 x 80 px

බැසිල්ගේ මල්වානේ ඉඩම නිසා රජය පඹ ගාලක
බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන සුවිසල් නිවසක් සහිත අක්කර 16කින් යුත් මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටින බව වාර්තාවේ. රජයේ බලපෑම් මත කෙරෙන මෙම ප්‍රයත්නය හේතුවෙන් අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය බරපතළ අපවාදයන්ට ලක්විය හැකි බව නීතිමය තතුදත් පිරිස් පවසති. 
Malwana 1මල්වානේ පිහිටි මෙම නිවස සහ ඉඩම 2017 මාර්තු 29 වන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස නියෝග කරන ලද්දේ පූගොඩ මහේස්ත්‍රාත්වරයා විසිනි. එහි රජයේ තක්සේරුව ලෙස දැක්වුණේ රුපියල් මිලියන 208 කි. එහෙත් හෙට (17) දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙන්දේසිය නවත්වන මෙන් පූගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය. ඉල්ලීම දෙස බලන කල වචනයේ අර්ථයෙන් ම මෙය පිස්සු විකාරයකි. 
 
මෙම නීතිමය ක්‍රියාවලියේදී මෙකී ඉඩමේ අයිතිය පිළිබඳව මුලින් ම ප්‍රශ්න කෙරුණේ බැසිල් රාජපක්ෂගෙනි. බැසිල් පැවසුවේ ඉඩම තමන්ට අයිති නැති බවය. ඉන් පසු නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරු නඩේසන්ගෙන් විමසා සිටියදී ඔහු පවසා තිබුණේ තමන් එම ඉඩම විකුණූ බවයි. එසේම රාජපක්ෂලා විසින් ටෙන්ඩර් නොකැඳවාම කෝටි ගණනින් කොන්ත්‍රාත් ලබාදුන් කුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි පැවසුවේ ද ඉඩම සහ නිවස තමන්ට අයත් නොවන බවයි. ඒ අනුව හිමිකරුවකු නොමැති නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කරන ලදී. 
 
මෙහිදී සිදු කෙරුණු ප්‍රධානතම විකෘතිය වූයේ රාජපක්ෂලාගේ සුරතලෙකු වූ මුදිත ජයකොඩි ගෘහ නිර්මාණ ශිල්පියාව රජයේ සාක්ෂිකරුවකු බවට පත් කිරීමය. ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ගෝටාබය විසින් මුදිතට කෝටි ගණනින් කොන්ත්‍රාත් ලබාදුන්නා පමණක් නොව ඒවාට වැඩිපුර මුදල් ද ගෙවා ඇත. එසේම එකී කොන්ත්‍රාතු ලබා ගැනීමේදී ඔහු විසින් අදාල ආයතන වෙත බොරු තොරතුරු ද ඉදිරිපත් කර තිබේ. ඒ සියල්ල හෙළිදරව් වී තිබියදී ම මුදිත ජයකොඩි දේශීය ආදායම් කොමසාරිස් වරයා වෙත ලියා දන්වන්නේ තමන් විසින් පෙරකී මල්වාන ඉඩම සම්බන්ධ ගනුදෙනු කෙරුණු කාලයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තා වැරදි බැවින් තමන් විසින් ගෙවන ලද බදු මුදල් තමන්ට ආපසු ගෙවන ලෙසය ! කම්බා හොරුන්ට ගැලවිජ්ජාවක් සොයා දුන් විට සිදුවන්නේ උන් විසින් සමස්ත නීති පද්ධතිය ම විහිළුවට ගැනීමය. වසර ගණනක් මහ උළුගෙදර උළු ගනින්නට යැවිය යුතු එකා රජයේ සාක්ෂිකරුවකු කරගැනීමේ ආනිසංශ එසේය. 
 
මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද වෙන්දේසිය නැවැත්වීමට රජයට හැකියාවක් නැත. ඉඩම අවශ්‍ය නම් රජය විසින් කළ යුතුව ඇත්තේ නියමිත දිනට ප්‍රසිද්ධ වෙන්දේසියේදී ඉඩම මිල දී ගැනීමය. එහෙත් එසේ නොකරන රජය දැන් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් වෙන්දේසිය නැවැත්වීමට උත්සාහ දරමින් සිටී. රජයේ දේශපාලකයින් පිරිසකගේ වුවමනාව වෙනුවෙන් දියත් කෙරෙනා මේ විකාර වෑයම ගැස්සී ගිය දිනක සම්පූර්ණ අපවාදය විඳගැනීමට සිදුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට ය. එදාට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ යහපාලන දේශපාලකයින් අහුවෙන්නේද නැත. ගෙවල් හැදූ බැසිල් අහුවෙන්නේද නැත. බැසිල්ලාගේ ගෝටාබයලාගේ කරත්ත පැදවූ මුදිත අහුවෙන්නේද නැත. මේ යන ආකාරයෙන් ගියහොත් අන්තිමේ සියඹලා කොහෙත්ම නැතිවනු ඇති අතර සියඹලා ගෙනා කිසිවෙක් මත් නැතිවනු ඇත. 
 
සබැඳි පුවත් -
 
 
Malwana 2
Malwana 3
Malwana 4

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top