1150 x 80 px

වාසුත් මිනිස් ජාවාරමට සම්බන්ධද ?

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවලදී දිගින් දිගට ම නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවෙහි පෙනී සිටීම යම් සැකකටයුතු තත්වයක් බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තාවේ. මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයකු සමඟ වන වාසුගේ සමීප සබඳතාවය මීට හේතු වී තිබේ.

නොයෙකුත් ආකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් හය දහසකට අධික ප්‍රමාණයක් දැනට රට තුළ සිටින බව සඳහන් ය. වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවලදී නින්දෙන් අවදි වූවාක් මෙන් එක්වරම මෙම සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී වී ඇති ආකාරයක් දක්නට ලැබිණි. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ දී සාගල රත්නායක ඇමතිවරයාගෙන් ද ප්‍රශ්නයක් අසමින් විමසා සිටියේ මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් අදාල රට වලට යැවීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගය පිළිබඳවය. ලංකා නිව්ස් වෙබ් කළ ගවේෂණයකදී මීට හේතුව අප වෙත අනාවරණය වී තිබේ. ඒ, මෙසේය.

ටයිටස් සපරමාදු නම් වෘත්තීය සමිති සංවිධායකවරයා වාසුදේව නානායක්කාර මහතාගේ සමීපතමයෙකි. වචනයෙන් ම කියතොත් ටයිටස් යනු වාසුගේ සියළු අන්තේවාසිකකම් කරණා ගජයෙකි. මේ ටයිටස් සපරමාදු විසින් නීති විරෝධී ලෙස රටින් පිටකරවීමට ගිය 118 දෙනෙකුගෙන් යුත් විදේශිකයින් පිරිසක් පසුගියදා ත්‍රිකුණාමලයේදී ආරක්ෂක අංශ වෙත හසුවී ඇත. ඒ අනුව ටයිටස් සපරමාදුට ආගමන විගමන පනතේ 45 'සී' වගන්තිය යටතේ 'මිනිස් ජාවාරමට පහසුකම් සැපයීම' යන චෝදනාව එල්ල වී තිබේ. එසේම මොහු විසින් රටින් පිටකරවීම සඳහා අදාල විදේශිකයින්ගෙන් ලබාගත් මුදල් නැවත ගෙවන මෙන් ඔවුහු දිගින් දිගට ම ඉල්ලා සිටිති. වාසුදේව පාර්ලිමේන්තුවේදී මැදිහත් වෙමින් අදාල නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඔවුන් අයිති රටවල් වෙත නැවත යවන්නේ කවදාද ? කෙසේදැයි දිගට හරහට ප්‍රශ්න කරන්නේ මෙවන් මොහොතකය.

ටයිටස් සපරමාදු යනු මිනිස් ජාවාරමෙහි කාලයක පටන් නියැළුණු, ඒ පිළිබඳව බොහෝ චෝදනා ලද්දෙකි. එසේම මේ මොහොතේ මිනිස් ජාවාරමට පහසුකම් සැපයීම යන චෝදනාව නැවතත් ලද්දෙකි. වාසුදේව නානායක්කාර යනු ලංකාවෙහි දේශපාලනයෙහි හොඳින් තෙම්පරාදු වූ පුද්ගලයෙකි. ඔහු කොහෙත් ම 'බබෙක්' නොවේ. එහෙයින් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නම් අටම්පහුරට වී ඇවිස්සූ ජාතිවාදය අමතක කර සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නයක් මේ අල්ලපනල්ලේ ම වාසුට මතක් වීම හුදු අහම්බයකට වඩා 'වාසුත් මිනිස් ජාවාරමට සම්බන්ධද ?' යන සාධාරණ සැකය උපදවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top