Untitled 1

මිනීමරුවා ගෙදර තබා පිස්තෝලය අත් අඩංගුවට ගැනීම හෙවත් රතුපස්වල ඝාතනය

රතුපස්වල ඝාතනය සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තිදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. රාජපක්ෂ භීෂකයින්ගේ පාලන සමය තුළ එසේ පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කරමින් තවත් 40ක පමණ පිරිසකට තුවාළ සිදු කරන ලද්දේ රතුපස්වල ප්‍රදේශවාසීන් විසින් කළ උද්ඝෝෂණයකට හමුදාව යොදවා පහර දීමෙනි, හමුදාව යොදවා වෙඩි තැබීමෙනි.

 

2013 ගම්පහ වැලිවේරියේදී මහ දවල් මග මඟ එසේ සිදු කෙරුණු ඝාතනය සහ පැතිරවූ භීෂණය දෙස බලන කල 2009 උතුරේදී එකී හමුදාව ම යොදවා සිදු කළ 'මානුශීය මෙහෙයුම' ගැන අසන්නට ද දෙයක් නොමැති තරම් ය.

රතුපස්වල ජනතාවගේ ගැටළුව වූයේ ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වීමය. ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වුණේ ප්‍රදේශයේ පිහිටි 'වෙනිග්‍රොස්' නම් කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමය. ජනතාව උද්ඝෝෂණය කළේ ඊට එරෙහිවය. වෙනිග්‍රොස් කර්මාන්තශාලාවේ හිමිකරු වූයේ ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා ය. ධම්මික පෙරේරා යනු දූෂිත රාජපක්ෂ බල හවුලේ ගජ මිතුරෙකි. රාජපක්ෂ ආණ්ඩුව තම තිරශ්චීන මැදිහත්වීම කරණු ලැබුවේ එම ගජමිතුරු ව්‍යාපාරිකයා වෙනුවෙනි. තම බලහවුලේ හිතවතුන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමත් සාමුහිකව වෙඩි කා මිය යාමට සිදුවන වරදක් බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා රාජපක්ෂ භීෂකයින් විසින් හමුදාව යොදවා උද්ඝෝෂණයට වෙඩි තබන ලදී.

හමුදාව සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ සැමවිටම ඔවුන් සැඟවුණේ 'රට බේරාගත් රණවිරු' බැනරය පසුපසය. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා යන යන තැන කියන්නේ "රණවිරුවන්ට අත තැබීමට කිසිවකුට ඉඩ නොදෙන" බවය. රාජපක්ෂ අමානුශික පාලනය යටතේ දෙමළ ජනතාව පොදුවේ ම සැලකුණේ කොටි හිතවාදීන්, සතුරන් ලෙසය. එහෙයින් දෙමළුන් ඝාතනය කිරීම ඒ යුගයේ 'රණවිරු' නම්බු නාමය ලැබීමේ සුදුසුකම විය. එහෙත් එම තිරිසන් පාලනයේ තිරිසන් මතවාදයට අනුවවත් වැලිවේරිය නගරයේදී ටියුෂන් පන්ති ඇරී ගෙදර යන අහිංසක පාසල් සිසුන් දෙදෙනෙක් සහ බියගම වෙළඳ කලාපයේ සේවය කළ අහිංසක තරුණයෙක් ඝාතනය කර, කඩපොළට පැමිණි ජනතාවට හතී අතේ වෙඩි තියා තුවාල කිරීම "රණවිරු" ක්‍රියාවක් වන්නේදැයි අප දන්නේ නැත.

රාජපක්ෂලා විසින් මෙම ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ නොකිරීම ස්වභාවිකය. මෙහි මානව හිමිකම් වාර්තාව පවා එළියට පැමිණියේ රාජපක්ෂලා පාලන බලයෙන් එළවා දැමුණු පසුවය. සෙබළුන් තිදෙනෙක් අත් අඩංගුවට ගැනෙන්නේ ඉනුත් වසර දෙකකට පසුව ය. එයද 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යායට අනුවය.

මෙම මිනීමරු, බියගුළු, නින්දිත ප්‍රහාරයට පැමිණි හමුදා කණ්ඩායමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තවමත් නිදැල්ලේ ය. වැලිවේරියේදී කළ වික්‍රමයට කළගුණ සැලකීමක් ලෙස එවකට ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ විසින් දේශප්‍රියට ආරක්ෂක උපදේශක තනතුරක් දී තුර්කියට පිටත් කර තිබිණි. වතමන් 'යහපාලන' රජය යටතේ ද දේශප්‍රිය බ්‍රිගේඩියර් වරයාට ඉහෙන් බහිනා රෝගයක් නොමැතිව නීවී සැනසිල්ලේ හිඳින්නට අවස්ථාව තවමත් හිමිව ඇත. සමස්ත ප්‍රහාරය මෙහෙයවූවන් ගැන තොරතුරක් දැනට අත් අඩංගුවේ පසුවන සාමාන්‍ය සෙබළුන්ගෙන් ලබාගත නොහැක. එය දැනගත හැකිවන්නේ ප්‍රහාරයට නායකත්වය දුන් බ්‍රිගේඩියර්ගෙනි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හාල්මැස්සන්, හුරුල්ලන් පසුපස මිස තෝරුන් මෝරුන් පසුපස පන්නන බවක් පෙනෙන්නට නැත. නොඑසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොල්කෙඳි මිස පොල් පරාල නොපෙනෙනවා විය යුතුය.

ඊනියා දේශප්‍රේමයේ සළුවට ම යටකර රාජපක්ෂ භීෂකයින් විසින් වැළලීමට ගිය රතුපස්වල අපරාධය සම්බන්ධයෙන් මෙසේ හෝ ක්‍රියාකාරීවීම අගය කළ යුතුය. පසුගිය සමයේ එවන් අපරාධ කිහිපයක් ම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවීමට ගන්නා උත්සාහය දැකිය හැකි විය. එහෙත් මෙම අපරාධයන් මෙහෙයවූ, අපරාධයන්ට සම්බන්ධ උස අතු ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇඹරෙන, නැවෙන ස්වභාවයක් ද පොදුවේ පෙනෙන්නට තිබේ. මෙය ඔවුන්ගේ පුරුද්දද, කොන්ද පණ නැතිකමේ හැටිද නොඑසේ නම් වෙනත් යමක්දැයි අප දන්නේ නැත. එහෙත් සමස්ත අපරාධවලට වගකිව යුතු භීෂකයින් බේරාහැරීමේ අරමුණින් යුතුව එවකට සිටි ඉහළ නිලධාරීන්ට ද ගැළවී යාමට ඉඩ හරින්නේ නම්, නීතියේ වැව් බැමි බිඳ දැමුණු තැනක හිඳ වක්කඩවල් ගැන පමණක් සොයන්නේ නම් ඊට තදින් එරෙහි විය යුතුව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විලිලැජ්ජාවක් ඇතිව 'කලිසම් ඇඳගෙන' රාජකාරි කළ හැකි තමන්ගේ සීමාව ආරක්ෂා කරගන්නට ඉදිරිපත් විය යුතුය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top