1150 x 80 px

ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් "කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආරක්ෂාව සඳහා සී සී ටී වී කැමරා පද්ධතිය අලුතින් සවිකිරීම" සඳහා කැඳවන ලද ටෙන්ඩරය අත්දැකීම් කිසිවක් නැති නුසුදුසු සමාගමක් වන  "එම්.  එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගමට" පවරා අනතුරුව අපගේ හෙළි කිරීමේ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය නැවතත් ප්‍රධානය කල ටෙන්ඩරය අලුතින් කැඳවා ඇත. මෙම ටෙන්ඩරය ප්‍රධානය වුන එම්.  එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා අටවා ගන්න ලද "ව්‍යාජ නාමික" සමාගමක් වූ අතර එම සමාගමේ හිතවත් කුකුල් මස් නිෂ්පාදන සමාගම සමග එක්වී හෝ එය සාර්ථකව කල නොහැකි බව අමාත්‍යංශ බලධාරියාට වැටහී ගිය බැවින් නැවතත් එම ටෙන්ඩරයම අලුතින් කැඳවා ඇත.

 "ජස්ට් ඉන් ටයිම් පුද්ගලික සමාගමේ"  ලිපිනයම යොදා ගනිමින් එම ලිපිනයටම ව්‍යාජව අටවාගන්නා ලද එම්.  එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම රුපියල් මිලියන 191.99කට තරඟකාරී මිල ගණනක් ඉදිරිපත්කර ඉහත කී ටෙන්ඩරය ලබා ගන්නා ලද බව අපි හෙළි කෙරුවෙමු.

ආරක්‍ෂිත අංශ දෘෂ්ටි කෝණයෙන් බලනකල කටුනායක ගුවන් තොටුපල ඕනෑම වෙලාවක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විය හැකි මහජනයා ගැවසෙන රටේ ප්‍රධානතම මර්මස්ථානයක් බව අපි පෙන්නා දුනිමු. එහෙව් මර්මස්තානයකට ජාත්‍යන්තර ත්‍රස්තවාදී උවඳුරු කොයි වෙලාවේ හෝ පාත්විය හැකි බවද අපි පෙන්නා දුනිමු. එවැනි තර්ජනයක් හමුවේ අලුතින් සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය ඉතා ශක්තිමත් "දත්ත ගබඩා කිරීමේ පහසුකම් සහිත" ක්‍රමයකින් අනූන වූවක් විය යුතුමය. එසේම එම පද්ධතිය පුද්ගලයන්ගේ මුහුණු ඉතා හොඳින් අඳුනා ගැනීමේ විධිමත් වූත් ලෝකයේ නවීනතම තාක්ෂණික අංගෝපාංග සහිත සී සී ටී වී කැමරාවන්  විය යුතුය. මේ අනුව සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය "නවීන ඉන්ටර්නෙට් ප්‍රොටෝකල් කැමරා" පද්ධතියක් විය යුතුමය.

අමාත්‍යංශ බලධාරියාගේ යටිකුට්ටු මගඩි ක්‍රියා නිසා නුසුදුසු සමාගම් තෝරා ගැනීම නිසා මෙම වැදගත් කටයුත්ත ආරම්භ කිරීම වර්ෂයකට අධික කාලයක් නිකරුණේ නාස්ති කර ඇත. මෙම නව ටෙන්ඩරය මගින් කටුනායක ගුවන් තොටුපලට සපයනු ලබන කැමරා ලොව නවීනතම තත්වයේ ඒවා බවට අමාත්‍යංශ ටෙන්ඩර් මණ්ඩලය වග බලා ගත යුතු අතර ආයතනයට ගණුදෙනු උඩ නුසුදුසු සමාගමක් තෝරා ගැනීම කිසිසේත් අනුමත නොකළ යුතුය. ප්‍රධාන ආරක්‍ෂිත මර්මස්ථානයක්වන කටුනායක ගුවන් තොටුපල අනාරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට නුසුදුසු සමාගමකට නව ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අමාත්‍යංශ බලධාරියා දේශපාලන බලය යොදා ඉහල නිලධාරීන්ට නීති විරෝධී නියෝග දුනහොත් ඒවා නොපමාවම මහජනතාව හමුවේ හෙළිකරන බවද අපි අවසාන වශයෙන් අනතුරු අඟවා සිටින්නෙමු!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top