1150 x 80 px

ලන්ඩන් ගෙදර විකුණා මහින්දානන්ද තමුන්ට ම 'අයියා' වෙයි !
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි ඉන්නා තරමක් 'කම්බා හොරුන්ගේ' අහිනක් වන ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් එංගලන්තයේ ලන්ඩන් නුවරින් බ්‍රිතාන්‍ය පවුම් 320,000කට මිල දී ගෙන තිබුණු නිවස විකුණා දැමීම පිළිබඳව පුවත් පසුගිය දින වල දී මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම නිවස පිළිබඳ මුලින්ම තොරතුරු හෙළිකළේ ලංකා නිවුස් වෙබ් විසිනි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද විසින් පවසා තිබුණේ තමන්ගේ සොයුරෙක් ජපානයේ සිටින බවත් ඔහු එංගලන්තයෙන් නිවසක් මිලදී ගෙන ඇති බවත්ය. එහෙත් 'ලංකා නිව්ස් වෙබ්' වෙත ලැබී ඇති අදාල දේපළෙහි ඔප්පු ලියවිලි වල සඳහන්ව ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ගේ නමය. මේ අනුව එක්කෝ මහින්දානන්දගේ සොයුරාගේ නමත් මහින්දානන්ද ම විය යුතු අතර නොමැති නම් මහින්දානන්ද තමන්ට ම අයියා වී සිටිය යුතුය. 
 
පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ "ජපානයේ ඉන්නවා මගෙ සොහොයුරෙක්, විජයානන්ද අලුත්ගමගේ. ඔහු එංගලන්තයේ නිවසක් අරන් තියෙනවා" යනුවෙනි.  නමුත් අප වෙත ලැබී ඇති ලිඛිත සාක්ෂි අනුව Flat 4, Blyton House, 19-23 Sydenham Hill, London ලිපිනයෙහි පිහිටි දේපළ අයිතිව තිබී ඇත්තේ අඹගහපොලගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ යන දෙපළකටය. ජපානයේ සිටින විජයානන්ද අලුත්ගමගේ එංගලන්තයට එන විට විජයන්ති අලුත්ගමගේ වූවාද නොඑසේ නම් විජයානන්ද අලුත්ගමගේ එංගලන්තයට එන විට මහින්දානන්ද අලුත්ගමගේ ලෙස නම මාරු කළාදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් විලිලැජ්ජා නැතිකම ඉහටත් ඉහළින් පිහිටි මහින්දානන්ද මේ රවටන්නේ රටේ නීති සම්පාදනය කරනා උත්තරීතර ආයතනය ලෙස සැලකෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුව වරප්‍රසාද සමූහයක් තිබේ. ඒවාට මුවා වෙමින් කෙළිනා තරමක් කෙළිද තිබේ. එහෙත් පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කිරීම යනු බරපතළ වරදකි. බොරුවෙන් ම ජීවත් වී, බොරුවෙන් ම දේශපාලනය කර, බොරුවෙන් ම හම්බකරගත් මහින්දානන්දලාට පාර්ලිමේන්තුව නොමඟ යැවීම මහ කජ්ජක් නොවන්නට පුළුවන. එහෙත් ගැටළුව මෙවන් ගල් පැලෙනා කෙබර කෙළින කබරයන් කාලයක් පුරා රටේ ඇමතිවරුන් වී සිටීමත් නැවතත් ඇමති සැප සෙවීම සඳහා වළිකෑමත්ය. ඊළඟ ගැටළුව ලන්ඩන් නුවරින් පවුම් 320,000කට ගෙවල් මිලදී ගන්නට තරම් මහින්දානන්ද මුදල් සෙව්වේ කෙසේද යන්නය. ඊටත් පසු එන ගැටළුව මහින්දානන්දලා තවත් නීතියට හසු නොවී නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්නය. 
 
හොරකම් කවුරුන් කළත් හෙළිදරව් විය යුතුය. එහෙත් වත්මන් ආණ්ඩුවේ දූෂණ චෝදනා පෙන්වමින් Top 10 නාඩගම මහින්දානන්ද වැනි කෙබරගමගේ කෙනෙක් නටනා විට එතැන ඇතිවන්නේ ඔක්කාරයක් පමණය. රුපියල් 2,500ක වැටුපකට ද ෆිනෑන්ස් සමාගමෙන් වෘත්තීය ජීවිතය අරඹා අවසන ඇමතිවරයෙක්ව ලන්ඩන් නගරයෙන් නිවාස ගන්නට තරම් මහින්දානන්ද දියුණු වූ ආකාරය රට ම දැනගැනීම වැදගත්ය. මහජන දේපළ හිතේ හැටියට උලා කෑ රාජපක්ෂ දූෂිත පාලනය යළි පිහිටුවීම සඳහා මහින්දානන්දලා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ අටම්පහුරේ නාම්බන් මේ තරම් දඟලන්නේ මන්ද යන්න ඒ හරහා මනාව හෙළිදරව් වනු ඇත. 
 
 
 london 1
 london 010
london 3
london 4
london 5
london 6
london 7

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top