1150 x 80 px

පොලිස්පතිගේ භාවනා ආනිසංශ තවත් ඉදිරියට!

පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඔහුගේ නියෝග පරිදි නියමිත වේලාවට භාවනා නොකිරීමේ වරදට එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහරදීමේ සිදුවීම ලංකා නිව්ස් වෙබ් මීට පෙර පුවතකින් හෙළිදරව් කරන ලදී. රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා එදින පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාත්මක කරවීමේ යෙදී සිටියදී මෙසේ පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වී තිබිණි. පොලිස්පතිවරයාගේ භාවනා උනේ ඊළඟ ගොදුර බවට පත් වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපතිවරයාය.

 

බලහත්කාරයෙන් භාවනා කරවීම, භක්තිය සහ කුණුහරුප

අදාල දිනයෙහි උදෑසන 8.30 සිට 8.45 දක්වා තමන්ගේ නියෝග අනුව භාවනා වැඩසටහන ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට ගිය පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දීමෙන් අනතුරුව කෙලින් ම ගොස් ඇත්තේ පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතය. එහි ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩොවයික් මහතාය. ඔහු බර්ගර් ජාතික කතෝලික බැතිමතෙකි. ඒ මොහොතේ ඔහු සුපුරුදු පරිදි තම කාර්යාලයෙහි දෛනික රාජකාරි වල නිරත වෙමින් සිට ඇත. මද කිපුණු ගතියෙන් යුතුව එතැනට කඩා වැදුණු පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලුඩොවයික් මහතාගෙන් "තෝ මොකද බොල භාවනා කරන්නෙ නැත්තේ ?" යි විමසමින් අමු තිත්ත කුණුහරුපයෙන් බැණවැදී තිබේ. එක්වරම සිදු වූ සිදුවීමෙන් කිසිවක් සිතාගත නොහැකිව උඩ බිම බැලූ ලුඩොවයික්, පෙරළා පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ " සර්, මම මේ කතෝලිකයෙක් නේ .. ඇයි සර් මට භාවනා කරන්න කියන්නේ ?" යනුවෙනි. කෝපය දෙගුණ තෙගුණ වී ගිය පොලිස්පති පූජිත එවිට "තෝ මොන ආගමේ උනත් මට කමක් නෑ බල්ලෝ, මං කියන විදියට භාවනා කරපිය" යැයි කියමින් දිගින් දිගට ම බැණ වැදී ඇත.

ඒ මොහොතේ මුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ම අන්දුන් කුන්දුන් වී පොලිස්පතිවරයාගේ මේ යකා නැටුම දෙස බලා සිට ඇත. පොලිස්පතිවරයාගේ දරුණු, නින්දිත වාග් ප්‍රහාරය සහ තමන් යටතේ සේවය කරන නිලධාරීන් ඉදිරියේ ඉතා පහත් ලෙස නින්දාවට පත් වන්නට සිදුවීම හේතුවෙන් රුධිර පීඩනය වැඩි වූ ලුඩොවයික් මහතා අවසානයේ රෝහල් ගත කිරීමට ද සිදු වී තිබේ. ඒ, තමන්ගේ ආගමික වතාවත් බලහත්කාරයෙන් අන් අය මත පැටවීමට පිස්සුවෙන් මෙන් ක්‍රියාකරනා පොලිස්පති පූජිතගේ වික්‍රමයේ එක් ප්‍රතිඵලයකි.

ලුඩොවයික් නම් නීතිගරුක පොලිස් නිලධාරියා

ඉහත කී ලුඩොවයික් මහතා පිළිබඳව ද වචනයක් සටහන් කළ යුතුය. ඒ ඔහු තමන් ඉතා නීතිගරුක පොලිස් නිලධාරියකු බව ක්‍රියාවෙන් ම ඔප්පු කළ පුද්ගලයකු නිසාය. තමන්ගේ ම පියාට එරෙහිව පවා නීතිය අකුරටම ක්‍රියාත්මක කර වූ නිසාය.

ලුඩොවයික් මහතා කටුණායක පොලිස් ස්ථානාධිපතිව සිටියදී දිනක් මුර සංචාරයක නිරත වෙද්දී ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක යන පුද්ගලයකු දැක ඔහුව හඹා ගොස් අල්ලාගන්නා ලෙස සෙසු නිලධාරීන්ට උපදෙස් දී තිබිණි. එකී නිලධාරීන් විසින් හඹා ගොස් අල්ලා ගන්නා ලද යතුරුපැදිකරුවා වී ඇත්තේ ලුඩොවයික් පොලිස් පරීක්ෂකවරයාගේ ම පියාය. ඒ මොහොතේ ලුඩොවයික් මහතා උපදෙස් දී ඇත්තේ දඩ කොළයක් නිකුත් කරන ලෙසය. එතැන සිටි තරුණ නිලධාරියකු පවසා තිබුණේ "අතෑරලා දාමු සර්, තාත්තා නෙ. " යනුවෙනි. ඒ මොහොතේ ලුඩොවයික් මහතා පවසා ඇත්තේ "තාත්තා නෙවෙයි මොකා උනත් හෙල්මට් නැත්තං ලියන්නයි තියෙන්නෙ, උඹ ලියපං" යනුවෙනි. ලුඩොවයික් මහතාගේ පියා ද විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙකි. පුතාගේ ක්‍රියාව පිළිබඳව කෝපයට පත් ඔහු නිවෙසට ගොස් දිගට හරහට බැණ වදිමින් සිටියදී පවුලේ සාමාජිකයකු නැවතත් ලුඩොවයික්ට දුරකථනයෙන් අමතා, "තාත්තා සිගරට් අරන් එන්න ළඟ කඩේටනෙ ගියෙ, මොකද්ද මේ ඔයා කරලා තියෙන්නෙ ?" යනුවෙන් විමසා ඇත. ඊට ලුඩොවයික්ගේ පිළිතුර වී ඇත්තේ "ඇයි, සිගරට් ගේන්න ගිහිං මොකේක හරි හැප්පිලා ඔළුව වැදුනොත් මැරෙන්නෙ නැද්ද ?" යන්නයි. ඔහු ඉන්පසුව තමන් අතින් මුදල් දී දඩකොළය ගෙවීම සඳහා අයෙක්ව පිටත් කර ඇත. ආගමික පදනමින් පොලිස්පති පූජිතගේ කුණුහරුප වරුසාවට හසු වුණේ එවන් නීතිගරුක පොලිස් නිලධාරියෙකි.

විහාරාධිපති හිමිට පේන්න බැරි පූජිත

ආගමික භක්තිය පිළිබඳව ලෝකයට පෙනෙන්නට විකාර නැටීමට යාම හේතුවෙන් ම රුවන්වැලි සෑය භාර විහාරාධිපති හිමියන්ටත් පොලිස්පති පූජිත ජයසුන්දර පෙනෙන්නට බැරි තරම් එපා වී ඇති බව වාර්තා වේ. පසුගිය දිනක එම හිමියන්ට බැතිමතුන්ගෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට යාමට තමන්ට පොලිසියෙන් ඉඩ නොදෙන බවටය. එහිමියන් වහාම එතැනට පැමිණි විට දැක ඇත්තේ පොලිසිය විසින් පිවිසුම් මාර්ග අවහිර කර ඇති ආකාරයයි. ඒ මන්දැයි විමසූ විට රැකවලෙහි සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ "හාමුදුරුවනේ, පොලිස්පති තුමා ඇතුළෙ බණ කියනවා, කාටවත් එන්න දෙන්න එපා කියලා කිව්වා" යනුවෙනි. මේ කුමන විකාරයක්දැයි බලමින් විහාරාධිපති හිමියන් තදින් පවසා තිබුණේ "බණ කියන එක අපිට අයිති වැඩක්, අපි හාමුදුරුවරු ඒක බලාගන්නම්. ඔහේලා වහාම ඔය පොලිස්පතිවත් මෙතනින් අයින් කරන් යන්න" කියා ය.

අප සඳහන් කරන මේ කිසිදු කරුණක් අසත්‍ය යැයි පොලිස්පති පූජිත කියන්නේ නම් අපි ඔහුට අභියෝග කරන්නේ අපට විරුද්ධව අධිකරණය හමුවට යන ලෙසය. එවිට පටිගත කරන දර්ශන සමඟින් සියළුම සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට 'ලංකා නිව්ස් වෙබ්' අප සූදානම් ය.

පූජිත ළඟදීම ඇණ ගනී.

ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ කියා කතාවක් සිංහල බස් වහරේ තිබේ. පොලිස්පති පූජිත ජයසුන්දර ගැන ද විස්තර කරන්නට ඒ කතාව හොඳට ම සෑහේ. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ මේ විකාර ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය ක්ෂේත්‍රයේ තතුදත් උදවිය පවසන්නේ, භාවනා කරවීමේ ත්‍රාසජනක වෑයමේ දී අප ඉහත සඳහන් කළ කරුණු අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය ප්‍රකාර තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ප්‍රකාර වධ හිංසාවට ලක්වීමෙන් ආරක්ෂා වීමේ අයිතිය යන දෙකම උල්ලංඝනය කර ඇති බැවින් පොලිස්පති වරයා වෙනුවෙන් පෙනීසිටීම නීතිපතිවරයා විසින් පවා ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය බවයි. ඒ අනුව නමට පූජිත - වැඩට කුජීත පොලිස්පතිවරයාට නුදුරේදීම වැඩ වරදිනු ඇත. දින දින වැඩිවන පූජිතගේ රිලා නැටුම් ගැන අපට නම් කියන්නට ඇත්තේ 'කොහොමත් වැඩිපුර දඟලන්නේ වැඩ බැරි ටාසන්ලා තමයි' කියා ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top