Untitled 1

උතුරු නැගෙනහිරට ජංගම දුරකථන සංඥා නෑ

ලංකාවේ උතුරු නැගෙනහිර තවමත් වෙනම රටක් සේ ය. කලබල නොවන්න. මේ කියන්නේ බෙදුම්වාදී හෝ ජාතිවාදී කතාවක් නොවේ.

නමුත් මේ මොහොතේ ඔබ යාපනයට ගියත්, වව්නියාවට ගියත් එකවරම ඔබට දැනෙනු ඇත්තේ තමන් ගියේ පිටස්තර දේශයකට බව ය. එයට හේතුව, සන්නිවේදනය අංශයෙන් ගත්විට ඔබට සියයට අනූවකින්ම හුදෙකලා වන්නට සිදුවන නිසා ය. විශේෂයෙන්ම ඔබ අතේ තිබෙන්නේ ඩයලොග් දුරකථන හෝ දත්ත සබඳතාවක් නම් ඒ හුදෙකලා වීම අනිවාර්ය ය.අන්තර්ජාලයෙන් වැඩගන්නට පුරුදු වී සිටින අයෙකුට උතුරු නැගෙනහිර සතියක් කල් ගත කරන්නට සිදුවුවහොත් සිය දිවි නසාගන්නට සිතෙනවා නිසැක ය.  

හේතුව කුමක්ද? මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලූ විට අපට පෙනී ගියේ ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින මෙම සංඥා අවහිරතාවයට හේතුව ඇතැම් ජංගම දුරකථන සේවා සැපයුම් සමාගම් සිය සංඥා කුලුනු මෙම ප්‍රදේශවල ඉදිකිරීමට දක්වන අකමැත්ත බවයි. මේ පිළිබඳ සොයාබැලූ විට අපට දැනගන්නට ලැබුණේ මෙකී පුද්ගලික සේවා සැපයුම් සමාගම්, රජයේ ඉඩම්වල සහ හමුදාකරණයට ලක්වූ-හමුදාව විසින් අල්ලාගත් ඉඩම්වල කුලුනු හෙවත් ටවර් ඉදිකරන්නට කිසිම කැමැත්තක් නොදක්වන බවයි. එය ඉතා පැහැදිලි කාරණයකි. පුද්ගලික හිමිකාරිත්වයක් නොමැති ඉඩම්වල සහ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දැනට පවතින තත්වය යටතේ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩකඩම්වල එවැනි දෙයක් කර සිය ආයෝජන අවදානමේ හෙළාගන්නට ඔවුන් ලැහැස්ති නැත.

සමස්ත ලංකාවම සැලකූ විට ලංකාවේ භූමි භාගයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ රජයේ ඉඩම් ය. උතුරු නැගෙනහිර මේ තත්වය විශේෂ මුහුණුවරකින් ක්‍රියාත්මක වන්නේ ඊට අමතරව යුද්ධ සමයේ සින්නක්කරව පැවති දමිල වැසියන්ගේ ඉඩ කඩම් පවා තවමත් බොහෝ දුරට හමුදා ආධිපත්‍යය යටතේ පැවතීම නිසාය.අද වන විට කොතරම් ඉඩම් ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාව භාරයේ පවතිනවාදැයි කිසිවෙක් දන්නේ නැත. ඒ පිළිබඳ නිවැරදි තොරතුරු බලධාරීන් විසින් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පවා නොහැකිය.

යුධ හමුදාව විසින් ආරක්ෂක හේතුන් මත අල්ලා ගත් ඉඩම් නැවත සිවිල් වැසියන්ට පවරා දී ඇතැයි කොතරම් පාරම් බෑවත්, තවමත් උතුරේ බොහෝ ප්‍රදේශවල කිලෝමීටර බාගයෙන් බාගයට හමුදා කඳවුරු පිහිටා තිබේ. හමුදා භටයෝ නිරතුරුවම ඒ ප්‍රදේශවල මුර රාජකාරිවල යෙදෙති. උතුරේ සිවිල් වැසියන්ගේ සිත් තුළ මේ නිසා තවමත් තිබෙන්නේ භීතියේ සංස්කෘතියකි. ඒ භීතියේ සංස්කෘතිය අවසන් කරන්නට කිසිදු වගකිවයුත්තෙකුට අවංක උවමනාවක් නැත්තා සේ ය. ඉතින් මෙවැනි තත්වයක් තුළ රටේ වගකිවයුතු ජංගම දුරකථන සමාගම්, උතුරු නැගෙනහිර සිය සේවා සැපයුම්වල තත්වය සම්බන්ධයෙන් පසුගාමී ආකල්පයක පසුවීම කාගේ වැරැද්දද?

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top