Untitled 1

විදුලි සභාපතිගේ ඉල්ලා අස්වීම ගැන ආචාර්ය බටගොඩ කියන කතාව!

ලංකා විදුලි බල මණ්ඩලයේ කචල් නැවත වටයකින් කතාබහට ලක්වූයේ පසුගියදා එහි සභාපති අනුර විජේපාල මහතාගේ ඉල්ලා අස් වීමත් සමඟය.වෙනදා පුරුද්දට මෙන් මෙවරත් දෙතුන් පැත්තට ඇගිල්ල දිගු කර ගැනීම සිදු විය.එය තවමත් කෙළවරකට පැමිණ නැත.විශේෂයෙන් අනුර විජේපාල මහතාගේ ඉල්ලා අස් වීම විදුලි ඉංජිනේරු සංගමයෙන් එල්ල වූ බලපෑම් වලට අමතරව විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ බලපෑම් මත සිදුවූවක් බවටද මත පළ විය.සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය  යටතේ පැවති අභ්‍යන්තර විගණන අංශය  විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා යටතට පත්කරන ලෙස සභාපතිවරයාට බලපෑම් කිරීම නිසා ඔහු ඉල්ලා අස් වී ඇති බව කියැවිණි.මෙය අද ඊයේ ඇතිවූ බලපෑමක් නොව කලක පටන් පැවති බවත්  පසුගිය සතිය වන විට ඊට දින වකවානු නියම වීමත් සමඟ සභාපතිවරයාට  සිය ධූරය අත්හැර දැමීමට සිදුවූ බව සඳහන් විය.

ප්‍රශ්න වලින් අඩුවක් නැති මේ විදුලි බල මණ්ඩලයේ ඇස නොගැටුණු කන නොවකුනු තවත් බොහෝ කතන්දර සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ කණින් කොණින් ආරංචි වන්නට විය.ඒ සියල්ල ගළපා ගැනීමට මත්තෙන් දැන් මේ මොහොතේ  ගොඩනැගී ඇති ප්‍රශ්නය පිළිබඳ ලංකා නිවුස් වෙබ් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් විමසීමක් කළෙමු.විශේෂයෙන් එකී ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලේකම්වරයාටද චෝදනාවක් එල්ල වී තිබේ.

ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ අදහස අනුව ( අමාත්‍යාංශයේ පොදු තීරණය) නම් අභ්‍යන්තර විගණන අංශය සභාපතිවරයා හෝ සාමාන්‍යාධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක නොවිය යුතු අතර එය ස්වාධීනව තිබිය යුතු වෙයි.විගණනය කිරීමේ අරමුණ ඉටුවන්නේ එවිට බව බටගොඩ මහතා පෙන්වාදෙයි.

"විගණනයක් කරන්නේ වැරද්දක් වෙලා තියෙනවා නම් එක හොයා ගන්න.වැරදි හදුනා ගත්තොත්තේ ඒවාට විසදුම් හොයන්න පුළුවන් වෙන්නේ.වැරදි හදාගත්තොත් තමයි දියුණුවක් තියෙන්නේ.ස්වාධීනව තියෙන්න ඕන දේවල් ස්වාධීනව තියෙන්න ඕනේ.පරිපාලන කටයුතු වලට හැමෝම සහය දෙන එක වෙනම වැඩක්.නමුත් මේ වගේ තත්ත්වයක් තුළ හැමෝම එක ස්ථාවරයක ඉදන් වැඩ කරන්න අවශ්‍යයි."

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය ආයතනය තුළ වැඩි කොටසක් අත්පත්කරගෙන සිටින බවට තතු දන්නෝ දනිති.ඔවුනට එරෙහිව සෙසු වෘත්තීය සමිති වල අප්‍රසාදය පළ වන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ නම්‍යශීලි නොවන ස්වභාවය හේතුවෙනි.මණ්ඩලයේ අභ්‍යන්තර කතන්දර අනුව නම් එහි සියල්ල තීරණය වන්නේ එකී ඉංජිනේරුවන්ගේ කැමැත්ත පරිදිය.සියල්ල සිදුවිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදිය.මේ මණ්ඩලේ කචල් වල කෙළවරක් නැත්තේද ඒ නිසාවෙන් බව පැවසෙයි.මේ තත්ත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ මෙවැනි කතාවකි.

"කොහොමත් වෘත්තීය සමිති ,අධ්‍යක්ෂ මණ්ඩලය  සහ සභාපතිවරයා අතර ගැටුමක් තියෙනවා.මේකට බලපාලා තියෙන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ තත්ත්වය.ඔවුන් ෆ්ලෙක්සිබල් නැහැ.ඒ වගේ තත්ත්වයක ප්‍රශ්න විසදන එක පහසු නැහැ.සභාපතිවරයාත් ඉංජිනේරුවෙක්නේ.ස්වාධීනව තියෙන්න අවශ්‍ය අභ්‍යන්තර විගණන අංශය සාමාන්‍යාධිකාරීවරයා යටතට පත්කරන්න කියලා කියන්නේ ඇයි? ඉංජිනේරුවන්ගේ වුවමනාව එතනින් පැහැදිලි වෙනවා.සමහරු අපට චෝදනා කරන්නේ අපි ඉංජිනේරු සංගමයට සහය දක්වනවා කියලා.ඒක සම්පුර්ණයෙන්ම වැරදි කතාවක්.අපි හැමවෙලාවෙම බැලුවේ මේ ප්‍රශ්න විසදන්න.මේ විදුලි බල මණ්ඩලයේ ඉන්නේ ආඩම්බර මිනිස්සු.ප්‍රශ්නයක් විසඳගන්න නම්‍යශීලි නැහැ.සභාපතිවරයාට වුනත් මේ අය පාලනය කරගන්න බැරිවුණා.මාධ්‍ය වල පළ වුණා මැයි 02 වැනිදාට කලින් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සාමාන්‍යාධිකාරීවරයා යටතට පත් කරන්න කියලා අපි සභාපතිවරයාට උපදෙස් දීලා කියලා.වැරදි දේවල්මයි සන්නිවේදනය වෙන්නේ.අමාත්‍යාංශය විදිහට අපි නිවැරදි ස්ථාවරයක හිටියේ.ප්‍රධාන වශයෙන්ම ඔය ඉංජිනේරු සංගමය,අනෙක් වෘත්තීය සමිති,අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා අතර පවතින අර්බුදයන්  තමයි විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න වැඩි කරලා තියෙන්නේ."

ලේකම්වරයා පවසන පරිදි ලංකා විදුලි බල මණ්ඩලයේ කොයි කාටත් අවශ්‍යව ඇත්තේ වැඩි පංගුව අත්පත්කර ගැනීමය.මේ මණ්ඩලේ කචල් කෙළවරක් නොවන්නේද ඒ නිසාවෙන්ය.සෑම මොහොතකම වගේ වැඩි චෝදනාවක් එල්ල වුයේ විදුලි ඉංජිනේරුවන් දෙසටය.කොහොම නමුත් සාමුහික වැඩ බිමක ඇත්තේ සාමුහික වගකීමකි.සියල්ලට සාමුහිකව මුහුණ දී අභියෝගද සාමුහිකව විසඳාගත යුතුය.නමුත් දැන් සිදු නොවන්නේද එයයි.රටේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයක මෙවන් අර්බුදකාරී තත්ත්වයන් පළුදු කරන්නේ විශ්වසනීය සේවාව නොවේද?

ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top