1150 x 80 px

විජේදාස ආණ්ඩුවෙන් යයිද?
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස  රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ සුදානමක් ඇතැයි වාර්තාවෙයි.
ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් දිය යුතු බවට අගමැතිවරයා කර ඇති යෝජානාවත් සමඟ මෙම දේශපාලන මතභේදාත්මක තත්ත්වය මතුව ඇති බව දැන ගන්නට තිබේ.සරත් ෆොන්සේකා මහතාට සහකාර නායක තනතුරක් ලබා දියයුතු බවට අගමැතිවරයා යෝජනා කර ඇති අතර ඊට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු එජාපයේ ප්‍රබලයන් කණ්ඩායමක්  දැඩි විරෝධයක් දක්වා තිබේ.
 
කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා එම තීරණය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සුදානම් වුවද මතුව ඇති විරෝධය හමුවේ අගමැතිවරයාට අඩියක් පස්සට ගැනීමට සිදුවූ බව සඳහන්.කෙසේවෙතත් එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එළඹෙන 08 වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇතැයි  වාර්තා විය.
 
අගමැතිවරයාගේ මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටින විජයදාස රාජපක්ෂ මහතා සිය සමීපතම හිතවතුන් සමඟ පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතාට එජාපයේ සහකාර නායක තනතුරක් ලබා දුන්නොත් තමන් පක්ෂයෙන් ඉවත් වන බවයි.පක්ෂය වෙනුවෙන් දැඩි කැපකිරීම් කරන ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් සිටියදී අඩුම තරමේ නිශ්චිත ජන්ද පදනමක් හෝ නොමැති සරත් ෆොන්සේකා මහතාට එජාප නායක ධූරයක් ලබා දෙන්නේ කෙසේද යන්න විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කර ඇත.
 
මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ දියණියගේ විවාහ උත්සවය ලබන සඳුදා දින ගංගාරාම විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිත අතර ඊට ජනාධිපතිවරයාට,අගමැතිවරයාට, හිටපු ජානාධිපතිවරයාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාටද  ආරාධනා කර ඇති බව සඳහන්.මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද උත්සව අවස්ථාවට ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වුණේ.
 
මෙම විවාහ උත්සවයෙන් පසු විජයදාස රාජපක්ෂ මහතා සිය අනාගත දේශපාලනය පිළිබඳ තීරණාත්මක තීන්දුවකට එළඹෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top