Untitled 1

අක්කරායන් වැලි මාෆියාව ගැන පොලිසිය නිහඬයි??

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් අක්කරායන් ගම්මානයේ කලෙක පටන් වැලි ගොඩදමා ජාවාරම් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා අදාළ වැලි ගොඩ දමන ස්ථානවලට යාබද කුඹුරු පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙමින් තිබේ.

අපට දැනගන්නට ලැබී ඇති අන්දමට මෙම ජාවාරම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ RDS හෙවත් ග්‍රාමීය සංවර්ධන සමිතිය නමැති ප්‍රාදේශීය සංවිධානයකට සම්බන්ධකම් ඇති අය ය. මෙම ජාවාරමට සම්බන්ධ අය, ප්‍රදේශයේ ස්වභාවික සම්පත් මේ අන්මට විනාශ කිරීම හරහා දිනකට රුපියල් 20,000-30,000 අතර මුදලක් බැගින් උපයා ගන්නා බව ද දැනගන්නට ලැබේ. මේ සියල්ල මධ්‍යයේ පැන නගින විශාලතම ගැටලුව වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය හා හමුදාව මේ පිළිබඳ නොදුටු දෑසින් සිටින්නේ මන්ද යන්නයි.

අක්කරායන් පොලිසියට මෙම නීතිවිරෝධී වැලි ජාවාරම සම්බන්ධ පැමිණිල්ලක් ඊයේ දිනයේ ලැබුණු අතර, එය සටහන් කර ගැනීම ප්‍රමාද වී තිබෙන්නේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා කිලිනොච්චියේ පැවැත්වෙන වෙසක් උත්සවය වෙනුවෙන් දින දෙකක් පුරා කාර්යබහුල වී සිටින නිසා ය!!

අක්කරායන් හි වැලි ගොඩදමන පුද්ගලයන් එසේ කරන්නේ නීතිමය පදනමක් ඇති ව දැයි අපි අසන්නෙමු. ඔවුන්ට ඒ සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බව අපට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව මේ සිදුවන්නේ පැහැදිලිවම නීතිවිරෝධී ක්‍රියාවකි. එසේ නම් පොලිසිය හා හමුදාව මේ ක්‍රියාව නතර නොකරන්නේ ඇයි? මෙය අද ඊයේ  පටන් ගත් ජාවාරමක් නොවන අතර කාලාන්තරයක් තිස්සේ සිදුවූ දෙයකි.

අක්කරායන් පොලිස් ස්ථානයට අමතරව එකිනෙකට කිලෝමීටර 3.5, කිලොමීටර 6 සහ කිලෝමීටර 10 ක පරතරවලින් යුතුව හමුදා කඳවුරු තුනක් ද පිහිටා ඇත. මදක් සිතාබලන්න. මේ සා දැවැන්ත මංකොල්ලයක් මහ දවාලේ සිදුවන්නේ මේ සා දැවැන්ත ආරක්ෂාවක් පවතින ප්‍රදේශයක ය.!! ප්‍රදේශයේ පොලිසියට හා හමුදාවට මේ වැලි හොරුන් අල්ලාගත නොහැකි නම් ඔවුන් ත්‍රස්තවාදීන් අල්ලාගන්නේ කොහොමද?? අනෙක් අතට ප්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින මෙම ආරක්ෂක අංශ සහ පොලිසිය වැටුප් ලබන්නේ සහ ඔවුන් නඩත්තු වන්නේ ජනතාව ගෙවන බදු මුදල් වලිනි. ඒ වෙනුවෙන් ඔවුන් ජනතාවට ලබාදෙන සේවය මෙය ද?

තමන් පිටදුන් බෝධියට අනිමිස ලෝචන පූජා පවත්වා සොබාදහමට කළගුණ සැලකූ බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරන අද දිනයේ, මේ සිංහල බෞද්ධ රටේ වගකිව යුත්තන්ට අක්කරායන් විනාශය ගැන පවසන්නට තිබෙන්නේ කුමක්ද?

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top