1150 x 80 px

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය නිසා දේශපාලන පෙරලියක්, එජාපයට පාර්ලිමේන්තුවේ බහුතර බලය

ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව ලැබුණු අධිකරණ තීන්දුව හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ සමගම ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිටින බව ද විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදාල මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාදෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ අතර තවමත් එයට ලිඛිත ප්‍රතිචාර ලැබී නොමැත.

කෙසේ වෙතත් අපවෙත වාර්තා වන්නේ ගීතා කුමාරසිංහ මහත්මියට අමතරව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම්. ෆවුසි මෙන්ම එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද සිටින බවයි වාර්තා වන්නේ. මීට අමතරව සෙසු මන්ත්‍රීවරුන් පස්දෙනා අයත් වන්නේ දෙමළ ජාතික සන්ධානයටයි.

කෙසේ වෙතත් ගීතා කුමාරසිංහ මහත්මියට ලැබුණු තීන්දුව අනුව මෙම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර ද අහෝසි වීමට බොහෝදුරටත ඉඩ තිබේ.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් එජනිස ලැයිස්තුව ද අහෝසි වීමට ඉඩ තිබෙන අතර එසේ වුවහොත් මෙරට දේශපාලනය තුළ විශාල පෙරලියක් සිදුවීමට ඉඩ තිබෙන අතර පාර්ලිමේන්තුවේ සංයුතියද සැලකිය යුතු වෙනසකට භාජනය වේ.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසිවීමත් සමග උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක කිහිපයක ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තු ද අහෝසි වනු ඇත. ඒ හරහා සෙසු පක්ෂවල මන්ත්‍රී ධූර සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබේ.

උතුරු පළාතේ සහ ගාලු දිස්ත්‍රික්කයේ අදාල අපේක්ෂක ලැයිස්තු අහෝසි වුවහොත් ඉන් වැඩිම වාසිය අත්වන්නේ එජාපයටයි. ඒ අනුව එජාපයට දිස්ත්‍රික් පදනමින් මෙන්ම ජාතික ලැයිස්තු පදනමින් ද සැලකිය යුතු ආසන ප්‍රමාණයක් හිමිවීමට නියමිත අතර ඒ අනුව ඔවුන්ගේ ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය 113 ඉක්මවා යනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top