1150 x 80 px

ජනපති හා රවී අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාකච්ඡාව ආණ්ඩු සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක එකකි. ජනාධිපතිවරයා වෙසක් උළෙල නිමිත්තෙන් සිදුකරන පොළොන්නරු සංචාරයන් පසු මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
මාස කිහිපයක සිට කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවූ අතර එහිදී දැඩිලෙස කතාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කළයුතු බවයි.
 
ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය ද රවී කරුණානායක මහතා වෙනුවට වෙනත් පුද්ගලයෙකු මුදල් අමාත්‍ය තනතුරට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින අතර එම පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ මුදල් අමාත්‍යංශය, ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන මන්ත්‍රීවරයෙකු යටතට පත් කළයුතු බවයි.
 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා අද පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත බවයි. ඒ අනුව අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයද මේ වනවිට කැබිනට් සංශෝධනයක් සඳහා එකඟ වී තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ රවී කරුණානායක මහතා හැර මුදල් අමාත්‍යධූරයට සුදුසු පුද්ගලයෙකු නොමැති බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී මුදල් අමාත්‍යධූරයේ වෙනසක් සිදුවීමට නියමිත අතර ඒ සඳහා වෙනත් ප්‍රබල ඇමතිධූරයක් දරන එජාප ප්‍රබලයෙකු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී තිබේ.‍
 
මුදල් අමාත්‍යධූරය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංක මහ බැංකුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පසුගිය දිනවල මෙහෙයුමක් දියත් කළ අතර ජනාධිපතිවරයාගේ තීරණය සඳහා එය ද දැඩි බලපෑමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂත්වය වන්නේ මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම වෙනුවෙන් විසල් කාර්යභාරයක් සිදුකළ පුද්ගලයන් වීමයි.
 
යහපාලන ආණ්ඩුවට එල්ල වන චෝදනා සමනය කිරීමේ අරමුණින් සහ අර්බුද අවම කරගැනීමේ අරමුණින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටියද කැබිනට් සංශෝධනය හේතුවෙන් අර්බුද සමනය කරගැනීම කෙසේ වෙතත් නව අර්බුද නිර්මාණය වීම නම් සිදුවිය හැකි බව පෙනී යයි. එවැනි තත්වයක් මතුවුවහොත් එය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම සමස්ත යහපාලන ආණ්ඩුවටම බරපතල ගැටලුවක් වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top