Untitled 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හම්බන්තොට වරායෙන් කට්ටි පනින්නේ ඇයි?

අග්‍රාමාත්‍යවරයා විශාල නියෝජිත පිරිසක් ද සමග චීනය බලා යන්නේ ආයෝජන ප්‍රවර්ධනය කරන්නට ය. නමුත් ඔහුගේ අවසානාවට ජනපති සිරිසේන දකුණු වරාය හැත්තෑ අවුරුද්දකට චීනයට ලබාදෙන්නට එකඟ නොවෙයි. ජනපති සිය විශ්වාසවන්තයන් සමග කියා තිබෙන්නේ 70 අවුරුද්දකට එය බදුදීම කළ නොහැකි දෙයක් බවය.

වරාය බදු දුන්නහොත් තමන් මියෙන තෙක් උපවාස කරන බව භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම ජනපතිවරයාට කියා ඇත- එසේම මේ ව්‍යාපෘතිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට මුදල් මවන මාර්ගයක් බවත් ඔවුන් කියා තිබේ. ජනපති කියා තිබෙන්නේ 70 අවුරුද්දක් නොව ඕනෑ නම් 30 අවුරුද්දකට බදු දීම කළ හැකි දෙයක් බවත් ඒ ගනුදෙනුව ගැන තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කතාබස් කළ හැකි බවත් ය. ජීඑස්පී ප්ලස් සහනය කැරට් අලයක් ලෙස පාවිච්චි කරමින් ඇමති සමරවික්‍රම මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට අවධාරණය කරන්නට උත්සාහ කර ඇත. ඔවුන් කියා තිබෙන්නේ එක්සත් රාජධානිය නැතිව ජීඑස්පී ප්ලස් සහනය ලැබීමෙන් පලක් නැති බව ය.එයට හේතුව යුරෝපා සංගම් වෙළඳපොළට ලංකාවෙන් යවන අපනයනවලින් 60%ක්ම යන්නේ එක්සත් රාජධානියට ය. සෙසු යුරෝපා රටවල් වාණිජ සහ ආයෝජන සම්බන්ධයෙන් ලංකාවේ අපනයනවලට වගකියන්නේ ඉතා සුලු ප්‍රමාණයකිනි.

වරාය ගනුදෙනුව මේ සා අවිශ්වාස සහගත බවකට පත් වී තිබෙන්නේ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් උප කමිටුවේ තීරකයන්ගේ විශ්වාසනීයභාවය නිසා ය. මෙහි සිටින එක් අයෙක් ජනාධිපති කොමිෂන් සභාවකින් වරදකරුවෙක් බව හෙළි වූ අයෙක් වන අතර තවත් අයෙක් අතීතයේ මත්තල වී ගබඩා කිරීම නමැති විනාසකාරී “ස්වීට් හාට් ඩීල්” එකට පිඹුරුපත් සෑදූ අයෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකුට අනුව ප්‍රශ්නගත අමාත්‍යවරයා සමාගමෙන් අත්කිකාරම් ගෙවීම් දැනටමත් ලබාගෙන ඇත. තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකුට අනුව මේ මුලු ගනුදෙනුවම ගඳ ගසයි. එම අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයාව මහත් සේ අගය කරන නමුත් මෙය අගමැතිවරයාට ලැබෙන අවසන් අවස්ථාව බැවින් සමහර ඩීල්කාර ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප ජනපතිට නුරුස්සන බවයි.
 
පාරවල කුණු ගොඩගැසී ඇති” ඩෙංගු උණ හේතුවෙන් ජනයා බුරුතු පිටින් රෝහල්ගත වන කාලයක මහජන බදු මුදලින් සවාරි යාමට පෙර මහජන සුබසිද්ධිය වෙනුවෙන් අගමැතිවරයා මේ ගැටලු විසඳා ගත යුතුය.මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් පැවරෙන වගකීමක් නොවේ- රට තුළ ඇති අර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතුය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top