Untitled 1

ඇමැති බලපෑමෙන් ආපදා රක්ෂණයේ කෝටි 1500ක් අපතේ !

ජාතික රක්ෂණ භාර අරමුදල (NATIONAL INSURANCE TRUST FUND) මඟින් ශ්‍රී ලංකාවේ සිදු වන ස්වාභාවික ආපදාවන් වෙනුවෙන් ලබාගෙන තිබූ රුපියල් බිලියන 15ක (රුපියල් කෝටි 1500) රක්ෂණය නිසි පරිදි ප්‍රතිරක්ෂණය කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පසුගියදා සිදු වූ ආපදාවෙන් විපතට පත් පුද්ගලයන්ට හා දේපළවලට වන්දි ගෙවීමේ දී රජය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. මීට පෙර  කළ විමසීමක දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මෙම රක්ෂණ ක්‍රමය හරහා ලෝකයේ ප්‍රථම වරට ලංකාවේ සෑම ගොඩනැඟිල්ලක් සහ මිනිසෙක්ම මේ රක්ෂණයට ඇතුළත් කර ඇති බවයි.

ප්‍රතිරක්ෂණය යනු එකකට වැඩි රක්ෂණ සමාගම් අතර අවදානම බෙදා ගැනීමයි. වෙනත් රක්ෂණ සමාගම්වල රක්ෂණ ඔප්පු මිලට ගෙන ව්‍යසනයක් ඇති වූ අවස්ථාවක එම අලාභය සීමා කිරීමක් එමඟින් සිදු වේ. කෙසේ වෙතත් එම ප්‍රතිරක්ෂණ කටයුතු නොකිරීම හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන් මෙවර ආපදාව වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක්ව පවතියි.

පසුගිය වසරේ ජාතික රක්ෂණ භාර අරමුදල ප්‍රතිරක්ෂණ කටයුතු නිසි පරිදි සිදුකර තිබූ හෙයින් එම වසරේ මැයි මාසයේ සිදු වූ ගංවතුරෙන් ආපදාවට ලක් වූවන්ට සහන සැලසීමට ප්‍රතිරක්ෂණ සමාගම්වලින් රුපියල් බිලියන පහක මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබී තිබිණ.

ඒ අනුව, විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට එම මුදලින් රුපියල් බිලියන 3.9ක මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත පිරිනමා ඇතැයි වාර්තා වේ.

මේ වසරට අදාළ ප්‍රතිරක්ෂණය මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබූ අතර, අදාළ ප්‍රතිරක්ෂණ සමාගම ඒ පිළිබඳව පසුගිය ජනවාරි මාසයේ සිට  වරින් වර ජාතික රක්ෂණ භාර අරමුදලට දැනුම් දී  ඇත.

පසුගිය වසරවල දී ප්‍රතිරක්ෂණ කටයුතු සඳහා  වාර්ෂික වාරික මුදල (Premium) ලෙස රුපියල් මිලියන 500ක මුදලක් අයකර තිබුණ ද මෙවර එය මිලියන 816 දක්වා වැඩිකර තිබී ඇත. එයට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ සිදු වූ ආපදාවේ දී විපතට පත්වූවන්ට බිලියන 5ක වන්දි මුදලක් ගෙවා තිබීම නිසාවෙනි.

කෙසේ වුව ද රජයේ වගකිවයුතු ඇමැතිවරයකු එම ප්‍රතිරක්ෂණ කටයුතු සිංගප්පූරුවේ රක්ෂණ සමාගමකට පවරන ලෙසට විෂයභාර අමාත්‍යවරයාට දිගින් දිගටම බලපෑම් කිරීම හේතුවෙන් නියමිත කාලයට පෙර ප්‍රතිරක්ෂණ කටයුතු සිදු කිරීමට රජයට නොහැකි වී ඇත. පසුව හෙළි වී ඇති කරුණු අනුව එම ඇමැතිවරයාගේ පවුලේ ව්‍යාපාර ප්‍රතිරක්ෂණය කර ඇත්තේ එම සිංගප්පූරු සමාගමේය.

මෙතෙක් ප්‍රතිරක්ෂණය සිදු කළ සමාගම ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ප්‍රතිරක්ෂණය කිරීම සඳහා සහන කාලයක් ලබා දී ඇතත් එය ද නොසලකා හැරීමෙන් මාර්තු 31 දා ප්‍රතිරක්ෂණය අවලංගු වී තිබේ.

කෙසේ හෝ අවසානයේ පසුගිය දා සිදු වූ ආපදාව වෙනුවෙන් රුපියල් බිලියන 14ක් ලබා ගැනීමට ජාතික රක්ෂණ භාර අරමුදලට තිබූ අවස්ථාව මඟහැරී ගොස් ඇත.

ඒ අනුව, පසුගිය දිනවල ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදු වනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

වාර්තාව - සිතාරා කුලරත්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top