1150 x 80 px

දක්ෂිණ අධිවේගයේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ ඉවත් වෙති

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ (Section I) කොටසේ උපදේශන සේවාවලින් ඉවත් වීමට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට සිදු නොකිරීම,තත්ත්ව සහතිකයක් නොමැති අමුද්‍රව්‍ය භාවිතය, චීන උපදේශන සමාගමේ කණ්ඩායම් නායකයාගේ (Team Leader)අත්තනෝමතික ක්‍රියා කලාපය, මහජන මුදල් අවභාවිතය යන කරුණුය.
මාතර-මත්තල අධිවේගී මාර්ගයේ මාතර - බෙලිඅත්ත කොටසේ ඉදිකිරීම් අධීක්ෂණය කරනු ලබන්නේ චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඞ් ඩිසයින් ගෲප් (China Railway First Syrvey & Design Institute Group Co. Ltd)පෞද්ගලික සමාගම (FSDI) විසිනි. එම උපදේශන සමාගමේ කණ්ඩායම් නායකයා වන්නේ බි්‍රතාන්‍ය ජාතික කොලින් ඇස්පිනෝල් නමැත්තාය. නිසි ඉදිකිරීම් ප්‍රමිතියෙන් බැහැරව සහ තත්ත්ව සහතික නොමැති අමුද්‍රව්‍ය යොදා ගැනීමට ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වන චීන CATIC සමාගමට අවස්ථාව සලසා දී එම සමාගමෙන් විවිධාකාරයේ වරප්‍රසාද ලබා ගැනීමට ද කණ්ඩායම් නායකයා කටයුතු කර ඇත. මෙම තත්ත්වය මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල ප්‍රමිතිය විනාශ කිරීම සඳහා ඔහු විසින් කරන ලද නීති විරෝධී කටයුතු 14 ක් පෙන්වා දෙමින් ශ්‍රී ලාංකික උපදේශන සමාගම්වල ජ්‍යේෂ්ඨ ප්‍රධාන ඉංජිනේරුවෝ පහළොස් දෙනකුගේ අත්සනින් යුතු පෙත්සමක් ව්‍යාපෘති අධ්‍යක්ෂ එම්.එස්. නිලව්පර් මහතා වෙත භාර දී ඇත. 2017.04.03 දින ලබා දුන් එම පෙත්සම සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ 2017.05.30 දින යළි සිහිකැඳවීමක් කර තවත් ලිපියක් යොමුකර ඇත. එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ කණ්ඩායම් නායක කොලින් ඇස්පිනෝල් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා ලෙසය. තත්ත්වය මෙසේ තිබිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ සේවය කළ ප්‍රමාණ සමීක්ෂක (Quantity Surveyor) ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඩී.ජේ.ඒ. අමරසේන මහතා කිසිදු හේතු දැක්වීමකින් තොරව වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියෙන් ඉවත් කර ඇත. ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ ද අනුමැතියකින් තොරව එම ඉවත් කිරීම සිදුකර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සහ ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂගේ උපදෙස් මතය.
අනතුරුව මහාමාර්ග අමාත්‍යාංශය විසින් එහි අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර2017.06.05 දින මෙම සිදුවීම් සම්බන්ධව පරීක්ෂණයක් ද පවත්වා ඇත. එම පරීක්ෂණයේ දී කොලින් ඇස්පිනෝල් තමන්ට එරෙහි චෝදනාවලට පිළිතුරු ලබා දී නැත. ඔහු පවසා ඇත්තේ දේශීය ඉංජිනේරුවන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බවයි.
දයා නෙත්තසිංහ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top