1150 x 80 px

අගමැතිතුමනි, කරුණාකර සුරේන් රත්වත්තේට යන්න කියන්න!

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ අතිශය අත්තනෝමතික ආකාරයට සිය බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳ පසුගිය මාස 12කට අධික කාලයක් තුළ අප විසින් නොයෙක් වර ඉස්මතු කර දක්වා තිබේ. ඔහු නිතරම අකුරු හතරේ වචනයක් පාවිච්චි කරමින් ගුවන් සේවයේ රාජකාරි කරන අයට අපහාස කරන බව ද ප්‍රකට කරුණකි. මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පවා ඔහුට අවවාද කර ඇත.

ඔහුගේ මුරණ්ඩු බවට විශාල වශයෙන් හේතු වී ඇත්තේ ඔහුගේ බංකොළොත් සහෝදරයා වන චරිත රත්වත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටීමයි. අප බොහෝ වතාවක් පෙන්වා දී ඇති පරිදි එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීිමට විශාල දායකත්වයක් දැක්වූ එක් පුද්ගලයෙක් වන්නේ ඔහු ය. 2001-2004 අතර කාලයේ එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි වුණේ ද ඔහුගේ අත්තනෝමතික වැඩ නිසා ය. එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට අනුව මේ ජේ්‍යෂ්ඨ රත්වත්තේ, වසර 12කට පසු 2015 ජනවාරි මාසයේ එක්සත් ජාතික පක්ෂය නැවත බලයට එන තෙක්ම එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පෙනෙන්නටවත් සිටියේ නැත. එක් අමාත්‍යවරයෙක් අප සමග පැවසුවේ එක් රත්වත්තේ කෙනෙක් වෙනුවට රත්වත්තේලා දෙදෙනෙක්ම අගමැතිවරයා විසින් දී තිබෙන බව සහ දැන් ඒ රත්වත්තේලා දෙදෙනා එක් වී එක්සත් ජාතික පක්ෂය ගෙදර යවන්නට සෑහෙන වැඩ කොටසක් කරමින් සිටිනා බවයි.

ගුවන් යානා පියාසර කරවීමට සහ වසර 25 ක් තිස්සේ කැබින් කාර්ය මණ්ඩලය සමග අඟර දඟර කිරීම හැරුණු විට කිසිදු කළමනාකාරිත්ව අත්දැකීමක් නොමැති සුරේන් රත්වත්තේ අතිශයින්ම මතභේදාත්මක සහ නීතිවිරෝධී ආකාරයකට තවදුරටත් ක්‍රියාකරමින් සිටියි. ඔහු මෙසේ හැසිරෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දිගින් දිගටම ඔහුට විරුද්ධව අනතුරු ඇඟවීම් පවා කරමින් තිබියදී ය. ඔහුගේ අලුත්ම කාර්යය වන්නේ පියාසැරි ක්‍රියාන්විතය භාරව සිටින කළමනාකාරවරයාගෙන් ගුවන් සේවක සේවාමුර තැනීම ඉවත් කර එය තමන් අතට ගෙන ඔවුන්ව තමන් කැමති අන්දමින් සේවා මුරවල යෙදවීමයි.එයට හේතුව වී තිබෙන්නේ මෙම කළමනාකාරවරයා රත්වත්තේ කැමති කැමති අන්දමින් සේවා මුර කාලසටහන සෑදීමට එකඟ නොවීමයි. ඔහු මෙසේ කරනුයේ තම පියාසැරි පරීක්ෂණය ගැටලුවකින් තොරව සමත් වීම සඳහා ය. නමුත් අපට වැටහෙන ආකාරයට පියාසැරි ක්‍රියාන්විත භාර කළමනාකරු තමන්ගේම ස්ථාවරයේ සිටිමින් චෙක් පයිලට් සේවා මුර කාලසටහන, ප්‍රධාන විධායක නිලධාරී රත්වත්තේගේ ඕනෑ එපාකම්වල හැටියට වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙයට පළිගැනීමක් වශයෙන් රත්වත්තේ විසින් නියෝග කර තිබෙන්නේ කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීමේ කාලසටහන් සකස් කිරීම මානව සම්පත් අංශයේ ප්‍රධානියා වන ප්‍රදීපා කැකුළාවල වෙත භාර කරන්නට ය. ඒ, ඉතා හොඳ නිලධාරියෙක් වන පියාසැරි ක්‍රියාන්විත භාර නිලධාරියාව කපා පැත්තකට කිරීමේ අරමුණිනි. අපගේ මූලාශ්‍රයන්ට අනුව කැකුළාවල රත්වත්තේගේ ඉල්ලීම් ඉටු කරමින් සිටියි. ඒ, යම්කිසි හෙයකින් ආණ්ඩුව විසින් රත්වත්තේ ව ඉවත් කරනු ලැබුවහොත් රත්වත්තේ ට පියාසැරි පරීක්ෂණ සමත්වීම සහ ගුවන් කපිතාන්වරයෙක් වශයෙන් සුදුසුකම් ලබාගැනීම සඳහා ය.

ගුවන් සේවකයන්ගේ සේවා මුර කාලසටහන අදාළ පාර්ශවයෙන් ඉවත් කිරීම පියාසැරි ආරක්ෂක නීති සපුරා උල්ලංඝනය කිරීමක් බව ප්‍රධාන විධායක නිලධාරී රත්වත්තේ දැන සිටියි.

මූලාශ්‍රවලට අනුව ජාතික ගුවන් සේවය රත්වත්තේගේ අමනෝඥ කම සහ නොසලකා සිටීම හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අවදානම්කාරී තත්වයකට පත්ව ඇත. ගුවන් සමාගමේ සේවකයන් කියන්නේ මේ සිදුවෙමින් තිබෙන්නේ බංකොළොත් භාවයට පත් ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මිනීපෙට්ටියට අවසන් ඇණය ගැසීම බවයි. රට ගැන අගමැතිවරයාට යම්කිසි කැක්කුමක් වෙතොත් සහ, තමන්ව අගමැති ධුරයට පත් කළ අය ගැන යම් ගෞරවයක් වෙතොත්, දැන්වත් ඔහු රුෆියාන් රත්වත්තේට බෑග් මලු පැක්කරගෙන තමන්ගේ අයියා ද සමග ආපසු ඩුබායි යන්න සහ නැවත නොඑන්න යැයි කියනු ඇත. රත්වත්තේ අගමැතිවරයාගේ එල්ලී සිටින තාක් කල් එක්සත් ජාතික පක්ෂය තව තවත් අපකීර්තියට පත්වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top