Untitled 1

කරුණාසේන හෙට්ටිආරච්චිට හෙට සිට ජනාධිපති කාර්යාලයට වාර්තා කරන්න දැනුම් දීලා !
අද (03) සිය තනතුරින් ඉල්ලා අස්වූ, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට හෙට (04) සිට ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන්නැයි එම කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා හා කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පාසැල් වියේ සිටම ගජ මිතුරන් වන අතර මේ වනවිට ඔවුන් දෙදෙනා අතර විශාල ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙම ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ බලතල සියතට ගෙන කටයුතු කරන කාන්තාවකගේ ක්‍රියාකලාපය හේතුවෙනි. 
 
මෙකී කාන්තාව වන්නේ කමනි හෙට්ටිආරච්චි නැමැත්තියකි. කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිධූරය දැරූ අවධියේදී මෙම කාන්තාව එම මණ්ඩලයේ ප්‍රධාන ගණකාධිකාරිනිය ලෙස සේවය කළ අතර, කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම්ධූරයේ වැඩ භාරගැනීමත් සමග ඔහු විසින් කමනි හෙට්ටිආරච්චිව ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරිණිය ලෙස පත්කර ගන්නා ලදී. එම පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණයේ පවතින සියලුම ටෙන්ඩර් පිළිබඳව කටයුතු කරන ලද්දේ ඇය විසිනි.
 
මෙයින් විශාලතම ටෙන්ඩරය ලෙස සැලකෙන ත්‍රිවිධ හමුදාවට කෑම සැපයීමේ ටෙන්ඩරය අනාදිමත් කාලයක සිට ලබාගෙන කටයුතු කළේ සී/ස ඩේවිඩ් වික්‍රමරත්න සමාගමයි. නමුත් කමනි හෙට්ටිආරච්චි ආරක්ෂක ලේකම්වරයාගේද අනුදැනුම සහිතව එකී ටෙන්ඩරය කොටස්වලට කඩා බහුතර කොටසක් සිය මිතුරන් අතර බෙදාදීමට කටයුතු කොට තිබේ. යුද්ධය ආරම්භ වන්නේ මෙතැන් සිටය. සී/ස ඩේවිඩ් වික්‍රමරත්න සමාගම මෙයට දැඩි විරෝධය පළකරමින් විවිධ පුද්ගලයන් හා දේශපාලනඥයන් ඔස්සේ නැවත සම්පූර්ණ ටෙන්ඩරය ලබාගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටී.
 
මේ සඳහා ඩේවිඩ් වික්‍රමරත්න සමාගම වෙත සම්පූර්ණ අනුග්‍රහය ලබාදෙන පුද්ගලයා වන්නේ එම ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු කරන තවත් ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වන වනිගසූරිය නමැත්තෙකි. ඔහු වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමතිව සිටි අවධියේදී, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණාකාධිකාරීධූරය හෙබවූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු වනිගසූරිය මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස සේවයෙහි පිහිටුවන ලදී.
 
ඩේවිඩ් වික්‍රමරත්න සමාගමට නැවත ටෙන්ඩරය ලබාදීමට වනිගසූරිය මහතා එළිපිටම උදව් කරන තත්වයක් තුළ ඔහු සමග තවදුරටත් ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු කිරීම අපහසු බව කමනි හෙට්ටිආරච්චි ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇත.එවිට ඔහු උපදෙස් දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා වන වනිගසූරිය වහා ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙසයි. ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා අතර ගැටුම තීව්‍ර කිරීම සඳහා මෙම තත්වය හේතු වී ඇති බවයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසන්නේ.
 
ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධාන ගණකාධිකාරිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයෙන් දැඩිලෙස කෝප වී ඇති ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට (Pool) මාරුකර යවා තිබේ.
 
ජනාධිපති-ආරක්ෂක ලේකම් පළමු ගැටුම රුසියාවේදී
 
මීට මාස කිහිපයකට ප්‍රථම ජනාධිපතිවරයා සිදුකළ රුසියානු නිල සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට රුසියන් යුද නෞකාවක් මිලදී ගැනීමට යෝජනා වී තිබේ. මෙම මිලදී ගැනීම සම්බන්ධීකරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට නාලිකාවක් වන සිරස හරහාය. මෙම සංචාරයට සිරස නාලිකාවේ ප්‍රධානියෙකු වන ෂෙවෝන් ඩැනියෙල් සහ නිමල් කුක් යන අය සහභාගි වී ඇත. ඔවුන් ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන හරහා මෙම මිලදී ගැනීම සිදුකිරීමට උත්සාහ කළත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊට තදබල විරෝධය ප්‍රකාශ කොට ඇත්තේ 'මිග් අරගෙන කාලා තියන පරිප්පුව මදිද ? දැන් යුද්දෙකුත් නෑ, මොන එහෙකටද යුද නෞකා ? මට නං බෑ තනතුර නැතිවෙච්ච දවසට FCID ගානෙ රස්තියාදු වෙන්න' කියමිනි.
 
මෙම සිද්ධියෙන් අනතුරුව සිරස නාලිකාව සහ දහම් සිරිසේන ආරක්ෂක ලේකම්වරයා පන්නා දැමීමේ කුමන්ත්‍රණය දියත් කර තිබේ. එය මේ වනවිට සාර්ථක අදියරකට පැමිණ තිබේ.
 
මේ පිළිබඳව සත්‍ය තත්වය විමසීමට 'ලංකා නිවුස් වෙබ්' හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එම උත්සාහය නිෂ්ඵල විය. ඔහුට හෝ මෙහි නම් සඳහන් ඕනෑම පාර්ශ්වයකට මෙම පුවත සම්බන්ධයෙන් යමක් පැවසීමට ඇත්නම් ඒ සඳහා සමාන අවකාශ සලසා දීමට අප පොරොන්දු වන්නෙමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top