Untitled 1

ෆීල්ඩ්මාෂල්තුමනි, මේ වෛරයේ අවසානය කොතනද ?
පසුගිය සති අන්තයේ නිවාඩුවක් ගතකිරීම සඳහා, පොළොන්නරුව, ගිරිතලේ පොලිස් හේවා බලකායේ (Military Police) නිවාඩු නිකේතනයට පැමිණ සිටි එම බලකායේ හිටපු කර්නල් කමඩාන් නොහොත් කර්නල් සේනාවිධායක ඊ.කේ.ජේ.කේ. විජේසිරි හෙවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් විජේසිරි සහ ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ උදවිය, ෆීල්ඩ්මාෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතාගේ සෘජු නියෝගයක් මත එම නිවාඩු නිකේතනයෙන් පන්නා දමා තිබේ. 
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මේජර් ජනරාල් ජගත් විජේසිරි සමග මෙතරම් තදබල වෛරයක් පවත්වාගෙන යන්නේ 2010 වසරේ පෙබරවාරි මාසයේ ෆොන්සේකා මහතාගේ කාර්යාලයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට ආ කණ්ඩායමට නායකත්වය සැපයූ අනෙක් පුද්ගලයා වන හෙයිනි. මීට අවුරුද්දකට පමණ ඉහතදී බිල්ඩින් සයිට් එකක අට්ටාලය හිසමත කඩාවැටීම නිසා මියගිය මේජර් ජනරාල් මානවඩු එහි මූලික පුද්ගලයාය.
 
පොළොන්නරුව ගිරිතලේ පොලිස් හේවා බලකා නිවාඩු නිකේතනය ගොඩනැංවීම සඳහා මූලික වී ක්‍රියා කරන ලද්දේ මේජර් ජනරාල් ජගත් විජේසිරි පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකධූරය දැරූ අවධියේදීය. එවැනි පුද්ගලයෙකු තමා හැදූ නිවසින් පන්නා දැමීමට තරම් ෆීල්ඩ්මාෂල්තුමා සාහසික වී තිබේ. 
 
විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හා පවුලේ උදවිය නිවාඩු නිකේතනයට නිවාඩුවක් සඳහා පැමිණ සිටින බව සිය ඔත්තුකරුවෙකු හරහා දැනගත් සරත් ෆොන්සේකා මහතා වහාම මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අමතා තිබේ. අද (04) දින ඔහු යුද හමුදාපතිවරයා වුවත් සති අන්තයේ ඔහු දැරූයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීධූරයයි. මහේෂ් සේනානායක මහතා ඇමතූ ෆීල්ඩ්මාෂල්වරයා නියෝග කොට ඇත්තේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයාව වහාම ඉවත් කරන ලෙසයි.
 
සරත් ෆොන්සේකා මහතාගේ නියෝගයෙන් ඉමහත් අපහසුතාවයට හා අසරණභාවයට පත්ව ඇති මහේෂ් සේනානායක මහතා අකමැත්තෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස සේවය කරන බ්‍රිගේඩියර් ගාමිනී සිරිසේන මහතාට ප්‍රකාශ කොට ඇත්තේ තත්වය පැහැදිලි කර දී එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස විශ්‍රාමික මේජර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි. පසුව බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේනගේ පැහැදිලි කිරීම ඇහුම්කන් දී ඇති විශ්‍රාමික මේජර් ජනරාල්වරයා වහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ තමා එසේ නොකළහොත් බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේනට අත්වන ඵලවිපාක පිළිබඳව දන්නා හෙයිනි.
 
මෙම සිදුවීමේ සැබෑ උත්ප්‍රාසය වන්නේ යුද හමුදාවේ පරිපාලන කටයුතුවලට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා දක්වන බරපතල අහිතකර මැදිහත්වීමය. සරත් ෆොන්සේකා යනු උපතින් මෙන්ම ආත්මයෙන් ද සැබෑ යුද සෙබළෙකි. සැබෑ යුද සෙබළා මනුෂ්‍යත්වයට වඩා ගරු කරන්නේ ලෙයින් හෝ යකඩින් තම ඉලක්කය සපුරා ගැනීමටය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පලිගැනීම අනිවාර්ය කරුණකි.
 
මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (ජූලි 04) යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාරගන්නා ලදී. ඔහුව මෙම තනතුරට ගෙනඒම සඳහා ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා විවිධ දේශපාලනඥයන් පසුපස ගොස් අනුපමේය කාර්යභාරයක් ඉටුකරන ලදී. නමුත් එසේ අනුපමේය කාර්යභාරයක් ඉටුකරන ලද්දේ මහේෂ් සේනානායක මහතාව රූකඩයක් ලෙස හැසිරවීමට නම් එවැනි තත්වයකට කිසිසේත් ඉඩ දියයුතු නොවේ. මන්ද යත්, මේජර් ජනරාල් මහේෂ් සේනානායක යනු කිසිවෙකුගේ අත්වාරුවක් හෝ හැරමිටිවාරුවක් රහිතව ස්වාධීනව නැගී සිටිය හැකි පුද්ගලයෙකු වන හෙයිනි. ඔහු සංහිඳියාව පිළිබඳව මනාලෙස අධ්‍යයනය කළ අයෙකි. එමෙන්ම පසුගිය වසර එකහමාරක කාලය තුළ උතුරේ ආඥාපතිව සිටිමින් එකී සංහිඳියා න්‍යායන් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එවැන් ඇසූ-පිරූ තැන් ඇති අයෙකුට තම කාර්යභාරය ස්වාධීනව සහ අපක්ෂපාතීව කරගෙන යාමට ඉඩහැරීම අප කාගේත් යුතුකමකි.
 
ෆීල්ඩ්මාෂල්තුමනි, ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්න
 
සතුරන් පසුපස හඹාගොස් ඔවුන්ගේ ඔලුවටම වෙඩිතබා තම ඉලක්ක සපුරා ගන්නා සියලුම සෙබලුන්ට ජනාධිපතිි මෛත්‍රීපාල සිරිසේන මහතා මහඟු ආදර්ශයක් සපයා තිබේ.
 
පසුගිය දිනෙක ජනාධිපතිවරයා හමුවීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගොස් ඇත. ඔවුන් සමග තේපැන් බොමින් සතුටු සාමිචියේ යෙදෙන අතරතුර ජනාධිපතිවරයා වෙත පැමිණි, ඔහුගේ දිනපොත හසුරුවන අතිරේක ලේකම්වරයෙකු ඔහුගෙන් විමසා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දරුවකුගේ විවාහ මංගල්‍යයක් දිනපොතේ සටහන්ව තිබෙනා බවත් එම විවාහ මංගල්‍යය සහභාගිවීමට අවශ්‍යම එකක්දැයි කියාය.
 
දිනපොත අතට ගෙන සටහන පරීක්ෂා කර බැලූ ජනාධිපතිවරයා 'අපොයි අපොයි... මේක නං යන්නම ඕන මගුල් ගෙයක්.. මේ අපේ අම්පාරෙ යූඑන්පී එකේ හිටපු මන්ත්‍රී චන්ද්‍රදාස ගලප්පත්ති මහත්තයගෙ දරුවගේ විවාහ මංගල්‍යය. මට ඒකට යන්නම ඕන විශේෂ කාරණයක් නිසා.' කියමින් ජනාධිපතිවරයා එකී විශේෂ කරුණ පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ විස්තර කර ඇත. 
 
'මම මුලින්ම පාර්ලිමේන්තුවට ආවෙ 1989 දි. ආපු අලුත එක දවසක් වාසුදේව නානායක්කාර මහත්තයා පාර්ලිමේන්තු සෙංකෝලය උස්සං ගිහිල්ලා හරි ජරමරයක් උනා. දෙපැත්තෙ කට්ටිය හරි හරියට ගහගත්තා. මම ඉතින් අලුත් කෙනෙක් නිසා කම්මුලට අත තියාගෙන වෙන්නෙ මොකද්ද කියලා බලං හිටියා. ඔන්න එකපාරටම රජය පැත්තේ ඉඳලා මගේ ලඟට කවුදෝ මනුස්සයෙක් ආවා. ඇවිල්ලා මගෙන් අහනවා මොනවද ඩෝ බලං ඉන්නෙ ? කියලා. මම ෂේප්වෙන්න හිනාවක් දැම්මා විතරයි, ඒ හාදයා කෙලලා ඇරියෙ නැතෑ මගේ මූණටම. මම පුටුවත් පෙරළගෙන බිමට ඇදගෙන වැටුනා. මිනිහා මට ආයෙත් ගහන්න ඉස්සරහට එන්න ඉස්සෙල්ලා මම අම්මගෙන් බීපු කිරිවල හයිය හත්තිය මතක් කරගෙන කෙලින්ම පාර්ලිමේන්තුවෙන් එළියට දිව්වා. එළියට දුවලා මගේ වාහනේ නැගලා පාර්ලිමේන්තුවෙන් පැනගත්තා. එදා ඒ මට ගැහුවෙ ඔය කියන චන්ද්‍රදාස ගලප්පත්ති මහත්තයා. ඒක නිසා කොහොම හරි මේ මංගල්ලෙට මම යන්නම ඕන. මම මිනිස්සුන්ගෙන් පළිගන්නෙ ඒ විදියට. එහෙම කරපුවාම ඒ මිනිස්සු මුලු ජීවිතේම තමන් කරපු වැරැද්ද ගැන පසුතැවෙනවා. නමුත් මට එහෙම පසුතැවීමක් නෑ.'
 
අප විසින් මෙම සිදුවීම් දෙක යාකරන ලද්දේ ෆීල්ඩ්මාෂල්තුමාට යම් දවසක රටේ නායකත්වයට පත්වීමට අවශ්‍ය නම් වගා-දිගා කරගත යුතු සැබෑ මිනිස් ගුණාංග රාශියක් ඇතිබව පෙන්වීමටය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top