1150 x 80 px

'රාජපක්ෂලා ආයෙ බලයට ආවොත් යූඇන්පී එකට කිසිම ප්‍රශ්නයක් නෑ' - ජනාධිපති
'රාජපක්ෂ ආණ්ඩුවක් නැවත බලයට පැමිණියහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පැවති රජයේ කැබිනට් සාකච්ඡාවේදී ඉතා ආවේගශීලීව අගමැතිවරයාගේ මූණටම පවසා තිබේ. එම අවස්ථාවේදී අගමැතිවරයා කිසිදු ආවේගශීලීත්වයක් නොදක්වා සුපුරුදු පරිදි නිහඬ මුවින් පසුවී ඇත.
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දැඩි අවදානමක් කරමත පටවාගෙන බවත් යම්හෙයකින් පැරදුනේ නම් සරත් ෆොන්සේකා මහතාට කළ ආකාරයටම පුතා හා බෑණා සිරකර දමා තමාව මරා දැමීමේ සැළසුමක් රාජපක්ෂලාට තිබූ බව ජනාධිපතිවරයා හෙළිකොට තිබේ.
 
ජනාධිපතිවරයා එසේ ආවේගශීලීව කැබිනට් හමුවේදී කරුණු දක්වා ඇත්තේ පසුගිය ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලය හමුවේ සාකච්ඡා වූ අවස්ථාවේදීය. එම කමිටු කාර්යාලයට වගකියන්නේ කවුදැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඇති අතර එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමාටද ඊට අයිතියක් නොමැති බවයි.
 
අගමැතිවරයාගේ පිළිතුරින් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා 'නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ ඔබතුමාලා යටතේ, පොලීසිය තියෙන්නෙ ඔබතුමාලා යටතේ, FCID එක තියෙන්නෙ ඔබතුමාලා යටතේ, CID එක තියෙන්නෙ ඔබතුමාලා යටතේ, නමුත් පහුගිය අවුරුදු එකහමාරට සුපිරි හොරු එකෙක්වත් අල්ලලා නෑ. ඒ වෙනුවට පළාත් සභා මන්ත්‍රීලා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වගේ මට සහාය දෙන ඇච්චො බැච්චො ටිකකට නඩු දාලා. මම දන්නවා FCID එකටCID එකට කතා කරලා බලපෑම් කරන දේශපාලනඥයො. ඒ මිනිස්සු දන්නෑ ඒ හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙනවා කියලා. ඔබතුමාලා නැහැයි කියනව නං මම දැම්මම ඒ අයව ගෙන්නලා මූණට මූණ තියලා අහලා පෙන්නන්නං. මේක කරන්න බැරිනං අඩුගානෙ ඔය ආයතන ටික මාස තුනකට මට දෙන්න. මම කරලා පෙන්නන්නං' යනුවෙන් දැඩි ස්වරයෙන් පවසා තිබේ. 
 
ජනාධිපතිවරයාගේ කතාවට පොහොර දමා ඇති අමාත්‍ය චම්පික රණවක හා අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව සම්පූර්ණ සත්‍යයක් බවයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් රාජපක්ෂලාට ආරක්ෂාව සැලසෙන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව ගැන සැලවෙත්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ තමාට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි. නීතිපතිවරයා පත්කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් බැවින් ඊට ඇඟිලි ගැසීමට තමන් සූදානම් නැති බව විජේදාස රාජපක්ෂ මහතා පවසත්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ 'මේ අධිකරණ ඇමතිතුමාව තියාගෙන මේ වැඩේ කරන්න බෑ. එතුමා දන්නෑ, එතුමා ඉන්නෙ කොයි පැත්තෙද කියලා. මේ රටේ යුක්තිය පසිඳලීමට තියන ලොකුම බාධාව අධිකරණ ඇමතිවරයා' බවයි.
 
කෙසේ නමුත් දූෂණවිරෝධී කමිටු කාර්යාලයේ අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති අතර උණුසුම් වචන හුවමාරුවෙන් පසු රාජිත සේනාරත්න ඇමතිවරයා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා උඩුමහළට රැගෙන ගොස් ඔවුන් දෙදෙනා හා කතාබහ කොට තත්වය සමථයකට පත්කර තිබේ. 'මෙහෙම ගියොත් අපි සේරටම වලපල්ලට තමයි යන්න වෙන්නෙ. ඒක නිසා අපි දැන් තීරණය කරන්න ඕනෙ වලපල්ලට යනවද ? ගොඩට යනවද ?' යනුවෙන් රාජිත ඇමතිවරයා කී කතාවට නායකයන් දෙදෙනාම එකඟ වී ඇති අතර ඉදිරි සති දෙකක කාලය තුළ දැනට විමර්ශන අවසන් කර ඇති සුපිරි ගනයේ නඩු 10 ක් වහාම ඇරඹිය යුතු බවට තීරණය කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top