Untitled 1

හැටන් නැෂනල් බැංකුව පරණ පව් වසාගන්නට කොටස්හිමියන්ගෙන් මුදල් ඉල්ලයි

 

හැටන් නැෂනල් බැංකුව සිය ප්‍රාග්ධනය තහවුරු කර ගැනීම සඳහා රුපියල් බිලියන 15 ක් කොටස් හිමියන්ගෙන් ලබාගැනීමට තීරණය කර තිබේ. නමුත් වසර 30කටත් අධික කාලයක් බැංකුව සමග සමීපව කටයුතු කරන සහ ප්‍රධාන කොටස්හිමියන්ගෙන් එක් අයෙක් වන හැරී ජයවර්ධන චෝදනා කර සිටින්නේ මෙම මුදල ප්‍රාග්ධනය පියවා ගැනීමට නොව පසුගිය පාලන සමයේ කබ්රාල්ගේ ඉල්ලීම මත මාගම්පුර වරාය ව්‍යාපෘතිය සඳහා ලබාදුන් අසාධු ණය වසන් කර ගැනීමට බවයි.

ඔහුට සමීප මූලාශ්‍රයන්ට අනුව මෙම ණය ලබාදීම සඳහා කිසිදු නිසි සුරැකුමක් ලබාගෙන නැත. තවද එය ලබාදී තිබෙන්නේ පොතේ හැටියට ද නොවේ. එසේම බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වත්කම් සූදුකෙළීමට ලක්කරන හෙයින් ඔහු බලවත් ලෙස කෝපයට පත් වී සිටියි.

නිවාඩ් කබ්රාල් විසින් ඒ කාලයේ පත් කළ අධ්‍යක්ෂවරුන් තවමත් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින අරත එක් කොටස්හිමියෙකුට අනුව නැවත වරක් හිමිකම් ප්‍රශ්න ඇදගනිමින් සිටියි. සුජීව මුදලිගේ, රොෂාන් කරුණාරත්න, රෝස් කුරේ සහ කබ්රාල්ගේ මස්සිනා කෙනෙක් වන අමල් කබ්රාල් ය. හැරී ජයවර්ධන මේ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයට ගොස් ඇති අතර සිය කොටස් හිමිකමේ තත්වය බාල නොකරන ලෙස ඉන්ජන්ෂන් තහනමක් අයැද තිබේ.

තවද ඔහුගේ පැමිණිල්ල අනුව හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව සතු එක් අගනා දේපළක් ද විශාල ලාභයක් ලැබීමට යැයි කියා මේ වන විටත් විකුණා දමා තිබේ. එම දේපළ පිහිටා තිබෙන්නේ හැටන් නැෂනල් බැංකුවේ උප්පත්ති ස්ථානයේ ය. හැටන් නැෂනල් බැංකුවේ හිමිකාරිත්වයෙන් 35% ක් හිමිව තිබෙන්නේ ආණ්ඩුවට ය. නමුත් දුර්වල කළමනාකාරිත්වය හේතුවෙන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිහඬ ය. හැරී ජයවර්ධනට මේ වන විට බැංකුවේ 23% ක පමණ කොටස් හිමිකමක් තිබේ. නමුත් පසුගිය ආණ්ඩුවේ තීන්දුවකට අනුව ඔහුගේ කොටස් හිමිකම 10% දක්වා සීමා කර තිබිණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top