1150 x 80 px

මොකක්ද මේ ලොතරැයි ගැහිල්ල ?
සෙසු ආණ්ඩු සමයන්හිදී මෙන් යහපාලන ආණ්ඩුවේද කැපී පෙනෙන අමාත්‍යාංශය වූයේ මුදල් අමාත්‍යාංශයයි. හොඳ මෙන්ම නරකද හරි හරියට අහන්නට ලැබුණ අමාත්‍යාංශයක් ලෙස මුදල් අමාත්‍යාංශය හැමදෙනාගේම අවධානය දිනා ගත් තැනකි. රටේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක සාධකයක් ලෙස මෙම විෂය සතු වගකීම සහ වගවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වාර්ෂික අයවැය වාර්තාවේ සිට අහන්නට ලැබෙන නොයෙක් විවේචනයන් පහසුවෙන් බැහැර කිරීමටද නොහැකි වූවකි. පසුගිය බැඳුම්කර ගණුදෙනුවෙන් මේ උණුසුම වඩා තීව්‍ර විය.
මේ අතර ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් අදටත් පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි. නමුත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ තමන්ගේ මෙහෙයවීම මත ලොතරැයි මණ්ඩලය රු. බිලියන 300 ක ලාභයක් උපයා ඇති බවයි. ඔහුට අනුව ලොතරැයි මණ්ඩලයේ පැවති අදිසි දේශපාලන හස්තයන්ට පහර දීමට හැකි වීමෙන් එම ලාභය උපයා ගෙන ඇත. මේ වන විට අමාත්‍යධුරය වෙනස් වුවද ලොතරැයි මණ්ඩලය පවතින්නේ රවී කරුණානායක මහතා යටතේය.
 
අද තත්ත්වය මෙසේ වන විට ලොතරැයි මුද්‍රණය සම්බන්ධයෙන් පැවති ප්‍රශ්න සහගත තත්ත්වයන් කිහිපයක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණි. 2002 වසරේ සිට 2016 වසරේ මැයි  මාසය පමණ වන තෙක් ලොතරැයි මුද්‍රණය කර ඇත්තේ MBA පෞද්ගලික සමාගම විසිනි. එම සමාගම විසින් ලොතරැයි පත් මුද්‍රණය සඳහා දක්වා තිබූ මිල ගණන් සහ ඉදිරිපත් කරන ලද නව මිල ගණන් සැසඳීමේදී ලොතරැයි මණ්ඩලයට සිදුව ඇති පාඩුව සුළු පටු නොවේ. 
 
ඒ අනුව 2016 වසරේදී පමණක් ජාතික සම්පත, වාසනා සම්පත, ගොවිසෙත, සුපිරි වාසනා සම්පත සහ සුපිරි දෙලක්ෂපති යන ලොතරැයි මුද්‍රණයේදී නව ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව අපේක්ෂිත වාර්ෂික මුල්‍ය ඉතිරිය රු.57,283,185.20 කි. සරළව දැක්වුවොත් කෝටි 57 කි. 
 
2002 වසරේ සිටම MBA සමගම ලොතරැයි මුද්‍රණයේ යෙදී සිට ඇති අතර ඔවුන් සතුව තිබූ දේශපාලන බලය නිසාවෙන් විධිමත් ටෙන්ඩර් පටිපාටියද ඔවුන්ට වලංගු වී නොමැති බව තහවුරු වී තිබේ. 2016 වසරේ මැයි මාසය වන තෙක් ලොතරැයි මුද්‍රණයේ සිතැඟි පරිදි අණසක පැතිරීමට MBA සමාගම කටයුතු කර ඇත. අඩු මුදලකට ලොතරැයි මුද්‍රණය කිරීමේ හැකියාව තිබියදී වැඩි මුදලකට ලොතරැයි මුද්‍රණය කිරීම නිසා රු. 636,425,053.46 ක් ලොතරැයි මණ්ඩලයට අහිමි වී අවසන්ය. MBA පසුපස රැකවරණට සිටි දේශපාලන හස්තයේ තරම කොහොමද කියා මේ ඉලක්කම් වලින්ම සිතා ගත හැකිය. කෙසේ නමුත් මේ ගසාකන්නේ ජනතාවට හිමි දේපල බවද සිහිතබා ගත යුතුය.
 
මෙම කාරණා පිළිබඳ කිසියම් හෝ පැහැදිලි කිරීමක් හෝ කරුණු දැක්වීමක් කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ ඇති බවද මෙහිදී සටහන් කරමු.
 
nlb 2
nlb 3
nlb 4
nlb 5

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top