1150 x 80 px

රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි!

නීතිපතිවරයාගේ නියෝගයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව අද (15) පස්වරු 9.00 ට රහස් පොලිසිය වෙත වාර්තා කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යාපනය කරා රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

පැය 3 කට අධික කාලයක් රහස් පොලිස් නිලධාරීන් වෙත දීර්ඝ කටඋත්තරයක් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ එකී ප්‍රකාශයෙන් තහවුරු වූ කරුණු මත ඔහුව මෙසේ යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත. ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බී වාර්තාවක් රහස් පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාට යොමු කිරීමෙන් අනතුරුව එහි සඳහන් කරුණු සලකාබලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇප මත මුදා හරින්නේද රිමාන්ඩ් භාරයට පත් කරන්නේද යන්න යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරි පැය කීපය තුලදී තීරණය කරනු ඇත.

'නීතිය ඉදිරියේ සියලුම දෙනා එක සමානය' යන මූලික සිද්ධාන්තය සපුරා බැහැර කරමින් තමන්ගේ පුද්ගලික හා දේශපාලන හිතවත්කම් මත ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය වසර 2 කට ආසන්න කාලයක් නීතියේ ආධිපත්‍ය මග හරිමින් සිටි අතර, පොලිස් කොමිසමේ ඔහුගේ හිතවතුන්ද ඔහුට අවශ්‍ය රැකවරණය නොඅඩුව සපයා දෙන ලදී.

කෙසේ වුවද මේ වන විට යාපනය මහාධිකරණයේ විභාග වෙමින් පවතින විද්‍යා ඝාතන නඩුවේ සාක්ෂිකාරයන් විසින් විවෘත අධිකරණයේ ලබාදුන් සාක්ෂි හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති 127 ප්‍රකාරව විනිසුරුවරයාට කරන ලද ප්‍රකාශවලින් ලලිත් ජයසිංහගේ නම ඉස්මතුවීම නිසා ඔහුව නොකැඳවා සිටීමට රහස් පොලිසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටද නොහැකි විය.

විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන මොලකරුවන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් චේතාන්විතව යාපනයෙන් මුදා හරින ලද්දේ එවක එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහය. ශෂී කුමාර්ව කොළඹදී කොටු කර ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට නොහැකි වුයේ නම් මෙම නඩුව ඇසීමට සිදුවන්නේ මහා මොලකරුගෙන් තොරවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍ය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට හා කොළඹ නීතිපීඨයේ මහාචාර්ය වී.ටී. තමිල්මාරන්ට රැකවරණ සපයද්දී 'ලංකා නිවුස් වෙබ්' පමණක් යථාතත්වය හෙලි කිරීමෙන් ලලිත් ජයසිංහට නීතියෙන් ගැලවී යා ගත නොහැකි විය. පමණක් මාධ්‍ය ජාලා පවා අප වෙත චෝදනා කර සිටියේ අප ප්‍රබන්ධකරණයේ යෙදී සිටින බවයි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පසුගිය කාලය පුරා සිදුකරන ලද තවත් සිද්ධීන් ගණනාවක් අප සතුව තිබේ. නමුත් ඒවා හෙලි කිරීමට මේ අවස්ථාව නොවේ. එහෙත් අප රහස් පොලිසියෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී රත්නපුරයේ චොකා මල්ලී සම්බන්ධ ත්‍රිපුද්ගල ඝාතන නඩුවේ මරණකරුගේ මරණාසන්න ප්‍රකාශය නැවත කියවා බලන ලෙසයි.

වැඩි විස්තර පසුවට...

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top