1150 x 80 px

හිටපු නාවික හමුදා ප්‍රකාශකගෙන් උසාවියට අපහාසයක්!

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතවී, වැලිසර නාවික හමුදා රෝහලේ නේවාසිකව සිටින හිටපු නාවික හමුදා ප්‍රකාශක කේ.ඩී. පී. දසනායක අද (19) උසාවියට නොපැමිණ එහෙත් උසාවිය අසළ ගිලන් රියක් තුළ හිදිමින් කළ රඟපෑම මගින් උසාවියට අපහාසයක් සිදුවී යැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කිරීමට සූදානම්ව සිටී.

අද උදෑසන වැලිසර නාවික හමුදා රෝහලෙන් උසාවි යනවා යැයි කියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගිලන් රියකින් පැමිණ ඇති දසනායක එකී ගිලන් රිය කියු පාරේ නවතා එයට වී සිටිනු නීතිඥවරුන් දැක ඇත. මෙසේ හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා රැගත් ගිලන් රිය කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත පිටත්ව ගිය බවට වැලිසර නාවික හමුදා රෝහලේ ආරක්ෂක අංශ  පොත්පත්වල පවා සටහන් දමා තිබේ. නමුත් හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා චේතාන්විතව උසාවියට පැමිණීම මගහැර ඇත. එය වරෙන්තු නිකුත් කළ හැකි වරදක් වේ.

දසනායක අධිකරණයට පැමිණීම මග හැරියද ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා පෙනී සිටිමින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම සේවාදායකයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වෙනි වගන්තිය යටතේ මිනී මැරීමේ චෝදනාව එල්ල කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එකී නීතිමය තර්කයට උත්තර දෙමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පවසා ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ගොනු කර ඇති සාක්ෂි අනුව 296 වෙනි වගන්තිය යටතේ චෝදනා නැගීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් තමන් තවදුරටත් දසනායකව රිමාන්ඩ් භාරයේ තබා ගන්නා බවයි. ඔහුට ඇප ලබා දීමට තමාට බලතල නැති බවත් ඒ සඳහා අධිකරණ බලය ඇති අධිකරණයක් වෙත ගොස් ඇප ලබා ගන්නා ලෙස විත්තියේ නීතිඥවරයාට දන්වා ඇත.

එම අවස්ථාවේදී නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයා අධිකරණයේදී පවසා ඇත්තේ අතුරුදන් වූ සිසුන්ගේ මාපියන් විසින් මාධ්‍ය හමුවේ සිදුකරන මාධ්‍ය සංදර්ශන වහාම නවතා දැමිය යුතු බවයි. එකී නීතිඥවරයා එසේ පවසා ඇත්තේ මීට දින 2 කට ඉහතදී 8 වසරකට පසු ප්‍රථම වතාවට අතුරුදන් වූ සිසුන්ගේ දෙමාපියන් විසින් කොළඹ නිපෝන් හෝටලයේ සිදුකළ ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මෙම සිසුන් 11 දෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශප්‍රේමීන් මේ දිනවල සඳහන් කරමින් සිටින්නේ කොටින් විසින් කොළඹට ගෙන ආ බෝම්බ ලොරියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නාවික හමුදාව විසින් මෙම සිසුන් අත්අඩංගුවට ගත් බවයි. මෙම සිසු පිරිසෙන් තිදෙනෙකු නාවික හමුදා භාරයේ සිටිනා බැවින් ඔවුන් නිදහස් කරන ලෙස එවක රජයේ අමාත්‍යවරයෙකු වූ ෆීලික්ස් පෙරේරා නාවික හමුදාපතිවරයා වෙත නිකුත් කරන ලද ලිපියක් පහතින් පලවේ.

මෙම සිසුන් 11 දෙනාගේ අතුරුදන්වීම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා වත්මන් නාවික හමුදාපති රවී විජේගුණවර්ධන ගෙන් නුදුරේදීම රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top