මහින්ද කොටින්ට කප්පම් ගෙවූ රාඩා ගනුදෙනුවේ විස්තර මෙන්න
එල්.ටි.ටි.ඊ. සංවිධානය දෙමළ ජනතාව ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දකුණේ සිංහල ජනතාව ද උගස් තබා ගෙන ගිය දේශපාලන සූදුව රාඩා  සිද්ධියත් සමග මතුපිටට දොරේ ගලා විත් ඇත. රාජපක්ෂලා ගේ සහ ප්‍රභාකරන්ලා ගේ ඊනියා දේශප්‍රේමී වාචාල කථා  යටින් පැවැති පංති සම්බන්ධතාවය රාඩා ගනුදෙනුව මගින් තහවුරු කරයි. එම රාඩා සිද්ධිය ඉන් එක් කථාවක් පමණි.            
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාඩා ආයතනය හරහා එල්.ටි.ටි.ඊ. සංවිධානයට රුපියල් මිලියන 2000 ක් ( රුපියල් කෝටි 200ක්) ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ අනාවරනය කර ඇත.අගමැතිවරයා මේ බව අනාවරනය කර ඇත්තේ 2015 අගෝස්තු 08 වෙනි දා දඹදෙණිය හා මිරීගම පැවැති ජන රැලි අමතමිනි. දිනමිණ පුවත් පත එම ප්‍රවෘත්තිය 2015 අගොස්තු 09 වන දින වාර්තා කර තිබිණි. නමුත් පසු ගිය මාස 06 තුළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් කට ඇරියේ නැත.  පාර්ලිමේන්තු මැතිවරණයත් සමග අගමැතිවරයා  මේ ගැන නන්දෙඩවිමට පටන් ගත්තේ හිටපු ජනාධිපති රාජපක්ෂ වටා රැලි වී සිටින සිංහල ජනතාවගේ ඡන්දය කොල්ලකෑම සදහා  මිසක් රාඩා ගනුදෙනුවේ සැබෑ තොරතුරු රටට හෙළි කිරිමේ අරමුනින් නොවෙයි.    
 
මේ සමග රාඩා ගනුදෙනුවේ සුලමුල පහතින් පළවේ.
 
උතුරු නැගෙනහිර සුනාමි ව්‍යවසනයෙන් සහ රජයේ හමුදා දෙමළ 
 
ජනතාවට එරෙහිව ගෙන ගිය ක්‍රෑරු යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වු ජනතාවට රජය මගින් නව නිවාස 120ක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ. එම ව්‍යාපෘතිය 'ජය ලංකා' නිවාස ව්‍යාපෘතිය නමින් හැදින්විණි. ජය ලංකා නිවාස ව්‍යාපෘතිය සඳහා රාඩා (RADA-Reconstruction and Development Agency ) ආයතනයට මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 800 කට අධික මුදලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සීබිඊ (CEB) ආයතනයේ සභාපති ටිරාන් ක්‍රිස්ටෝපර් අලස් අයථා පරිහරණය කොට ඇත. 
 
ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ජාතිය ගොඩනැගීමේ හා සංවර්ධනය කිරීමේ අමාත්‍යංශය, අපදා සහන අරමුදල සහ මහ භාණ්ඩාරය මගින් රාඩා ආයතනයට ලබා දී ඇති මුළු මුදල රුපියල් කෝටි 2,441,647,554 කි. එම මුදලෙන් රුපියල් කෝටි 1,959,000,000 මුදලක් ලබා දී ඇත්තේ මහ භාණ්ඩාගාරය මගිනි. 
 
පොලිස් මුල්‍ය විමර්ශන අපරාධ කොට්ඨාශය (FCID) මගින් තමා අත්අඩංගුවට ගන්නට යන බව දැනගන්නට තිබේයැයි ද එම අත්අඩංගුවට ගැනිම තමාගේ මුලික අයිතිවාසිකම් කඩවිමට හේතුවිය හැකියැයි ද කියමින් අලස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මුලික පෙත්සමත් සමග රාඩා සිද්ධිය යළිත් කරලියට පැමිනියේය.    
 
පලමු අදියර ලෙස මඩකලපු සහ ත්‍රිකුණාමල යන ප්‍රදේශ වල නිවාස 400ක් සැදීම සදහා භාණ්ඩාගාරය මගින් බී.කේ. හෝල්ඩින්ග්ස්, එවරස්ට් සිවිල් ඉංජිනියරින් සර්විස් සහ ජි.එස්.බිල්ඩර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් යන කොන්ත්‍රාත් සමාගම් නමින් වැල්ලවත්ත හැටන් නැෂනල් සහ කොළඹ 07 කොමර්ෂල් යන බැංකුවල  ආරම්භ කළ ගිණුම්වලට රුපියල් මිලියන 800 ක් මුදලක් බැර කර ඇත. එම මුදල් චෙක්පත් මගින් බැහැරට ගෙන තිබේ. නමුත් උතුරු හෝ නැගෙනහිර ප්‍රදේශ වල එකදු නිවසක් ඉදිකර නැතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරන ලද විමර්ශන වල දී හෙළි කරගෙන තිබේ.
                                                                   
බැසිල් රාජපක්ෂ සහ  එමිල් කාන්තන් හමුව
 
දෙමළ විමුක්ති කොටි සංවිධානය 2005 දී පැවැති ජනාධිපති වරණයේ දී ලොකු නපුර වෙනුවට පොඩි නපුර තෝරා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ එල්. ටි.ටි.ඊ. සංවිධානය විසින් තෝරා ගන්නා ලදී. 2005  ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ගේ ජන්ද අයිතිය තුවක්කු බටය පෙන්නා දඩුකඳේ සිරකළ එල්.ටි.ටි.ඊ. සංවිධානය, රාජපක්ෂ රජ කරවීමට කටයුතු කළේය. ඊට ඇති  කදිම සාක්කිය එල්.ටි.ටි.ඊ. සංවිධානය තමන් ගේ නියෝග නොතකා ජන්දය පාවිච්චි කළ උතුරේ දෙමළ වැසියකු ගේ අත කපා දැමීමය.  
 
2005 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර සහ අභාවප්‍රාප්ත වු හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සුරියආරච්චි එල්.ටි.ටි.ඊ. සමග  සාකච්ඡා කළහ. එම සාකච්ඡාව කොළඔ රෝස්මිඩ් ප්‍රදේශයේ පිහිටි අලස්ට අයත් සීබීඊ ආයතන ගොඩනැගිල්ලේ පවත්වා ඇත. මෙම සාකච්ඡාව සදහා එල්.ටි.ටි.ඊ. සංවිධානය නියෝජනය කරමින්  එම සංවිධානයේ මුදල් හා බුද්ධි අංශයේ මුදල් කටයුතු භාරව එවකට කටයුතු කළ එමිල් කාන්තන් හෙවත් කුමාර සහභාගි විය. පසුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කීප අවස්ථාවක්  කාන්තන්ව අලස් ගේ කාර්යාලයේ දී හමුවි සාකච්ඡා කොට ඇති අතර එම සාකච්ජා වලට අලස් ද සහාභාගි වී ඇත. 
 
එල්.ටි.ටි.ඊ. යට රුපියල් මිලියන 200ක කප්පමක් 
 
උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කළහොත් හිටපු ජනාධිපති රාජපක්ෂට දකුණේ  සිංහල ඡන්දවලින් පමනක් ජනාධිපති විය හැකි බවත්, ඊට එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සහයෝගය ලබා දෙන්නැයි බැසිල්, එමිල්කාන්තන්ගෙන් ඉල්ලිමක් කෙරිණ.පසුව එම කොන්ත්‍රාත්තුව සදහා බැසිල් එල්.ටි.ටි.ඊ. සංවිධානයට රුපියල් මිලියන 200 ක මුදලක් කප්පම් වශයෙන් ලබා දෙන ලදී. බැසිල් රුපියල් මිලියන 200 ක් බහාලු ට්‍රැවලින් බැග් කිපයක්  සිබීඊ ආයතනයට රැගෙනවිත් තමා ඉදිරිපිට දී එමිල්කාන්තන්ට දුන් බව අලස් එක්තරා රුපවාහිනී නාලිකාවක් හමුවේ හෙළිදරව් කර ඇත. හිටපු ජනපතිගේ ඉල්ලීම පරිදි  අලස් බැසිල්ට එමිල්කාන්තන්ව මුණ ගස්වා තිබේ. අලස්ට එමිල්කාන්තන්ව හදුන්වාදී  ඇත්තේ අභාවප්ප්‍රාප්ත වු  එක්සත් ජාතික පක්ෂයේ දොස්තර ජයලත් ජයවර්ධන විසිනි. රාජපක්ෂගේ  ජයග්‍රහනය වෙනුවෙන් එල්.ටි.ටි.ඊ. සමග ගනුදෙනු කළ කණ්ඩායමේ, ටිරාන් අලස් ප්‍රධාන කපුවෙකි. ඒ බව 2007 සැතැම්බර් 06 වන දින ටිරාන් අලස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට (TID) දෙන ලද පහත පලවන කටඋත්තරයෙන් ගම්‍ය වෙයි.   
 
ටිරාන් අලස් ගේ භුමිකාව 
 
'2005 නොවැම්බර් 17 වන දින පැවැති ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ දිනට පසු දින ( 18 ) උදේ මා අරලියගහ මන්දිරයට යන විට ඔහු ඇමතිවරු, හමුදාපති, පොලිස්පති සහ විශේෂ අමුත්තන් සමග සිටි බවත් පසුව මා දැක සමිපයට පැමිණ, මාව බදා ගෙන කළ උදව් වලට ස්තුතිය පලකළේය. එම බදා වැළද ගැනීම ඒ දිනවල පුවත් පත් කිපයකම පලවිය. එහිදී ඔහු කියා සිටියේ  'දැන් දිනුවා වගේ නොවෙයි,  අපට ලොකු වැඩ කොටසක් ඉදිරියට කරන්නට ඇති බවත් උතුරු නැගෙනහිරට වැඩ කිරීමට අලුතින් ආයතනයක් පිහිටිය යුතු බවයි.'
 
රාජපක්ෂ ගේ ජයග්‍රහණය ඔහු සමග බෙදාහදා ගන්නට අරලියගහ මැදුරට පැමිණි  අය අතර සුවිශේෂී පුද්ගලයකු බවට ටිරාන් අලස් පත්විමත්  දැන් දිනුවා වගේ නොවෙයි,  උතුරු නැගෙනහිරට වැඩ කිරීමට අලුතින් ආයතනයක් පිහිටි යුතු බවට රාජපක්ෂ කරන ප්‍රකාශයත් සමග ජනාධිපතිවරනයට ආදාළ අලස් ගේ භුමිකාව එළිමහනට කාන්දු වෙයි.
 
රාඩා ආයතනය පිහිටු විම සහ එල්.ටි.ටි.ඊ.යේ දෙබිඩි බව 
 
එල්.ටි.ටි.ඊ. සංවිධානයෙන් සහයෝගය ගෙන දැන් දිනුවා වගේ නොවෙයි, ප්‍රමාද නොවි එම සංවිධානය සමග ඇති කර ගත් එකගතා ඉටු නොකළ හොත්  ජිවිත අනතුරක් ඇති බව රාජපක්ෂ ප්‍රකාශ කළ බවට ටිරාන් අලස්  ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට ලබා දී ඇති ඉහත කටඋත්තරයේ ගැබ් වෙයි.  රාජපක්ෂ එල්.ටි.ටි.ඊ. සංවිධානයට පොරොන්දු වූ පරිදි  උතුරු නැගෙනහිර ජනතාවට සහන සලසන  මුවාවෙන් 2005.12.30 දින රාඩා ආයතනය පිහිටු වන ලදී. රාඩා ආයතනය පිහිටුවන ලද්දේ  මංගලගේ හෝ ශ්‍රීපති සුරියආරච්චිගේ හෝ අලස්ගේ උවමනාවට නොව එල්.ටි.ටි.ඊය රාජපක්ෂ රජ කරවීම සඳහා සිදු කළ මෙහෙවරට සන්තෝසම් ලබා දිමේ අරමුණෙනි. 
 
දකුණේ පාලනය සදහා  සිංහලයින් අතර පැවැත්වෙන ඡන්ද, උතුරු නැගෙනහිරට ආදාළ නැතැයි කියා එල්.ටි.ටි.ඊ සංවිධානය 2005 ජනාධිපතිවරනය වර්ජනය කරන්නැයි දෙමළ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. දෙමළ ජනතාව ඉදිරියේ රැඩිකල් මුහුනක් පෙන්නු එල්.ටි.ටි.ඊ. සංවිධානය සිංහල බෞද්ධ වර්ගවාදියකු වු රාජපක්ෂ බලයට ගෙන එමට කටයුතු කිරිමත් සමග එම සංවිධානයේ දෙබිඩි ස්වභාවය එළිමහනට පැමිණියේය.    
 
රාඩා ආයතනයේ අධ්‍යක්ෂකවරුන්  පත් කිරීම සදහා අරලියඅගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට හිටපු ජනාධිපති රාජපක්ෂ, අමාත්‍ය මංගල සමරවීර, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ටිරාන් අලස්  සහභාගි වී ඇත. පසුව එවකට හිටපු වරාය හා ගුවන් කටයුතු අමාත්‍ය මංගල සමවීර ගේ නිල නිවසේ පැවැති සාකච්ඡා සදහා බැසිල් රාජපක්ෂ , ලලිත් වීරතුංග , පී.බී. ජයසුන්දර,  එමිල් කාන්තන් සහ තමා ද සහභාගි වු බව ටිරාන් අලස්  විසින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට  දෙන ලද කටඋත්තරයේ සදහන් වේ.  
 
රාඩා ආයතනයේ සභාපති හා විධායක අධ්‍යක්ෂක ලෙස රාජපක්ෂ විසින් ටිරාන් අලස් පත්කරන ලදී. රාඩා අයතනයේ මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් 2007.01.27 වන දින මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් අබේසිංහ ගේ අත්සනින් යුත් ලිපියක් මගින් එම ආයතනයේ කාර්යය අවසන් කරන තෙක් අලස් එහි සභාපති මෙන්ම විධායක අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත. පසුව රාඩා ආයතනය ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශයට සහ මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගන්නා ලදී.                 
 
සාලිය වික්‍රමසුරිය, බී. අබේගුනවර්ධන, තිලක් අමුනුගම සහ ශාන්ති ප්‍රනාන්දු යන අය රාඩා ආයතනයේ අධ්‍යක්ෂකවරු වශයෙන් පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රාජපක්ෂ ගේ උපදෙස් මතය. 
 
රාජපක්ෂ ගේ නියෝගය මත, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ  රිපියා ( REPPIA – Rehabilitation of Person Properties and Industries Authority), ටැෆිරන් (TAFREN –Task Force for Rebuilding the Nation) ටාරෝ (TAROR –Task Force For Relief) යන ආයතන 03ක් එකතු කර රාඩා ආයතනය පිහිටුවා ඇත.
 
එමිල් කාන්තන්, බී.කේ. හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස ගජන් කුමාර් ශාන්ති කුමාර් හා ඇයගේ සහෝදරයින් වන කිෂෝර් කුමාර් ශාන්ති කුමාර් සහ භාර්කවි ශාන්ති කුමාර් පත් කර තිබේ. ගජන් කුමාර් දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර ඇයට එමිල් කාන්තන් මුනගැසී ඇත්තේ 2005 වර්ෂයේ ,ආනන්දී ශාන්ති කුමාර් වන ඇයගේ මව ගේ ආශ්‍රමයේ දීය.
 
ගජන් කුමාර් රොස්මිඩ් ප්‍රදේශයේ සීබීඊ ආයතනයේ පවත්වාගෙන ගිය රාඩා කාර්යාලයේදී අලස් සහ සාලිය වික්‍රමසූරිය සමග ගිවිසුම්  කිපයක් අත්සන් කර ඇත. ඊට අමතරව ඇය කාන්තන් ගේ මිතුරන් දෙදනෙකු මෙන්ම එවරස්ට් සිවිල් ඉංජිනියරින් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කන්දසාමී සහ කරුපයියා ශෂී කුමාර් යන අය සමග ද ගිවිසුම් අස්සන් කර ඇත. එමිල් කාන්තන් එම සමාගමේ ගිණුම් කටයුතු ද ඇටෝනි බලපත්‍රයක් මගින් ගජන් කුමාර්ට පවරන ලදී. පසුව එමිල් කාන්තන් ඇයගේ නමින් වැල්ලවත්ත හැටන් නැෂනල් බැංකුවේ ගිණුමක් ආරම්භ කළ බව ගජන්ව  දැනුවත් කර ඇත.
 
ටිරාන් අලස්ට මුදල් යාමේ සුල මුල  
 
බි.කේ .හෝල්ඩින්ස් සහ එවරස්ට් සිවිල් ඉංජිනියරින් සර්විසස් යන සමාගම්  ගිණුම්වල මුදල් තැන්පත් වු වහාම එම ගිණුම්වල හිමිකරු ලෙස කටයුතු කළ ගජන් චෙක්පත් මගින් එම මුදල් ලබා ගෙන ඇති බවත් පසුව ඇය කාන්තන් සමග ගොස් එම මුදල ටිරාන් අලස්ට ලබා දී තිබේ. 
 
2006 මැයි 10 වන දින බී.කේ. හෝල්ඩින්ස් ගිණුමෙන් රුපියල් මිලියන 5.7 (5,700,000) මුදලක් ලබා ගෙන සීබිඊ ආයතනයට ගොස්  එහි අධ්‍යක්ෂක දුෂ්‍යන්ත බස්නායකට  බාර දී තිබේ.
 
2006 ජුනි 22 දා බී.කේ. හෝල්ඩින්ස් ගිණුමෙන් කාන්තන් සහ ගජන් රුපියල් කෝටි 10 ක (10,000,000) මුදලක් ලබා ගෙන රාඩා කාර්යාලයට ගොස් අලස් ට එම මුදල් ලබා දී ඇත.
 
2006 අප්‍රෙල් 30 වෙනි දා එවර්ස්ටි ඉංජිනියරින් සර්විසස් නමින් කොමර්ෂල්  බැංකු ගිණුමෙන්  රුපියල් කෝටි 10ක (10,000,000) මුදලක් ලබා ගෙන,ගජන්  කාන්තන් සමග ගොස් අලස්ට බාර දී ඇත.
 
2006 අප්‍රෙල් 31 වෙනි දා කොමර්ෂල් බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 10 ක (10,000,000) මුදලක් හා රුපියල් මිලියන 2.5 ක (2.500,000) මුදලක් බැහැරට ගෙන කාන්තන් සමග රාඩා ආයතනයට ගොස් අලස් ට බාර දෙන ලදී. ගජන්  2015 මැයි මස 09 වන දින නව මැගසින් බන්ධනාගාරයේ සිට දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉහත තොරතුරු හෙළිකර ඇත.
 
උතුරු නැගෙනහිර එකදු නිවසක් හෝ ඉදිකර නැත 
 
එවර්ස්ට් සිවිල් ඉංඡිනියරින් සර්විසස් සහ බී.කේ. හෝල්ඩින්ස් යන සමාගම්  දෙකෙහි තොරතුරු අසත්‍ය බවත් එම සමාගම් දෙක විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල එක ද නිවසක් ඉදිකර නොමැති බවත් එවර්ස්ට සහ හෝල්ඩින්ස් සමාගම් දෙක ආරම්භ කර ලද්දේ, රාඩා ආයතනයයේ මුදල් වංචනික ලෙස මුදල් බැහැරට ගැනීම සදහා බවත් කාන්තන් ගේ කටයුතුවලට සහාය දැක්වුයේ තම සොයුරිය වන භාර්කවී ශාන්ති කුමාර් විවහා කර ගන්නා බවට පොරොන්දු වී සිටි නිසා බව ගජන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් කර ඇත.    
 
රාඩා ආයතනය  උතුරු නැගෙනහිර නිවාස ඉදිකළ බව සදහන් කර, රුපියල් මිලියන 800 කට අධික මුදලක් වංචා කොට ලබා ගෙන ඇති බවත් එම ප්‍රශ්නගත චෙක්පත් සදහා අත්සන් තබා ඇත්තේ අලස් සහ ( අධ්‍යක්ෂක හා විධායක නිලධාරී) සාලිය  වික්‍රමසුරිය විසිනි. 
 
රාඩා ආයතනය ආරම්භ කළ පසු එම ආයතනයේ සභාපති ටිරාන් අලස්, අධ්‍යක්ෂක හා මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසුරිය, එමිල් කාන්තන් සහ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියකු වු පුවන්නන් 2005 යේ දෙසැම්බර් 30 වන දින කිලිනොච්චියේදී හමුවී සාකච්ජා කළහ. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ලේකම්වරු ද එම සාකච්ජාව සදහා සහභාගි වී තිබේ. 
 
මෙම සාකච්ජාව පැවැති වකවානුවේ (2005) රජයේ කොන්ත්‍රාත් සමාගම් මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉදිකිරිම් කටයුතු කරගෙන ගිය ද රාඩා ආයතනය මගින් ආරම්භ කිරීමට නියමිතව තිබු ඊනියා නිවාස ව්‍යාපෘතිය එම ප්‍රදේශ කොන්ත්‍රාත් සමාගම් 03කට පැවැරීමට ටිරාන් අලස් පුවන්නන් ගේ උපදෙස් මත කටයුතු කර ඇත.
 
පසුව ටිරාන් අලස්  ජී.එස්.බිල්ඩර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් , බී.කේ. හෝල්ඩින්ස් ප්‍රවයිට් ලිමිටඩ් සහ එවරස්ට් සිවිල් ඉංජිනියරින්ස් යන සමාගම් තුන ලියාපංදිචි කර ඉදිරි පත් කර ඇති බවත් නමුත් එම කොන්ත්‍රාත් සමාගම් තුන ලිපි ශීර්ෂ වලට පමනක් සීමා වු, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කළ, සමාගම් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරන ලද විමර්ශන වල දී හෙළිකර ගෙන තිබේ.
 
අලස් විසින් ඉදිරිපත් කරන ලද ඉහත සමාගම් තුනට උතුරු-නැගෙනහිර නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිරිනැමීමට  ඒ අනුව සාලිය වික්‍රමසූරිය ප්‍රමුඛ ටෙන්ඩර් කමිටුව 2006 ජනවාරි 26 දින තිරණය කර තිබේ. 
 
රාඩා අයතනය වසා දැමීම
 
රාඩා ආයතනයට බැර කරන ලද සියලු මුදල් ඉවත් කර ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර යුද වාතාවරණය හේතුවෙන් තවදුරටත් ඉදිරිකිරීම් කටයුතු කළ නොහැකි බව සදහන් ලිපියක් එම ආයතනයේ සභාපති ටිරාන් අලස්ට කොන්ත්‍රාත් සමාගම් මගින් එවා ඇතැයි කියා ඔහු විසින් එම ඉදිකිරිම් කටයුතු අවසන් කිරීමට කටයුතු කර ඇත.
 
නිවාස 1200ක්  උතුරු නැගෙනහිරට ඉදිකර දෙන්නැයි එල්.ටි.ටි.ඊ. සංවිධානය එමිල් කාන්තන් මගින් රාඩා ආයතනයෙන් කළ පලමු ඉල්ලීම විය. කාන්තන් විසින් එම ඉල්ලීම බැසිල්ට සහ අලස්ට දැනුම් දී ඇති බවත් පසුව අලස් විසින් එය හිටපු ජනාධිපති රාජපක්ෂට දැනුම් දුන් බවත් එල්.ටි.ටි.ඊ. සංවිධානයට උවමනා පරිදි නිවාස ව්‍යාපෘතිය කර දෙන්නැයි රාජපක්ෂ තමාට නියෝග කළ බව අලස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට දෙන ලද පහත පලවන කටඋත්තරයේ සදහන් වේ.
                                                          
'රාඩා අයතනයට එමිල් කාන්තන් හරහා ලැබුනු පලමු වන ඉල්ලීම වුයේ, උතුරු නැගෙනහිර ප්‍රදේශෙය් නිවාස 1200ක් තැනීමට අවශ්‍ය බවය. මෙම ඉල්ලීම කාන්තන් විසින්  බැසිල්ටත් මා හටත් දන්වා සිටි අතර, එය අපවිසින් ජනාධිපතිතුමාට දන්වන ලදී. දින කිපයකට පසු ජනාධිපතිතුමා විසින් මට නියෝග කර සිටියේ රාඩා ආයතනය මගින් එම ව්‍යාපෘතිය පටන් ගෙන කාන්තන්ලා කියන අයුරින් ඒ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙක් ගෙන් ඇස්තමේන්තුවක් ලබාගෙන, ඉන් එක් අයකුට ව්‍යාපෘතිය බාර දෙන ලෙසටයි. මෙහිදී මා පවසා සිටියේ මේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 800 ක් වැය වන බැවින් ටෙන්ඩර් කැදවිය යුතු බවයි. නමුත් ජනාධිපතිතුමා කියා සිටියේ මෙය ඔවුන් ගේ පලමු ඉල්ලීම නිසාත් මෙය කිරීමෙන් දෙපාර්ශවය අතර සුහදතාවයට මෙය හොද අඩිතාලමක් නිසාත් ඔවුන් කී පරිදි වැඩ කරන ලෙසටයි. තවද ඔහු කියා සිටියේ පී.බි. ජයසුන්දරට ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් සපයන ලෙසට නියෝග කරන බවත් ඔහු සමග සාකච්ජා කරන ලෙසට තමාට ජනාධිපතිතුමා නියෝග කළ බවත්ය. තවද ඔහු දන්වා සිටියේ මෙය රජයේ ක්‍රියාපටිපාටියට පටහැනි වුවත් එම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ගන්නා බවත්ය.'
 
රාඩා ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව රාජපක්ෂ අලස්ට ප්‍රකාශ කළ ද  එම ආයතනයේ අයථා මුදල් පරිහරණයත් සමග එහි වැඩ කටයුතු අවසන් කරන තෙක් කැබිනට් අනුමැතිය ලබා ගෙන නොමැත. 
 
අලස්ට රාඩා ආයතනයේ රුපියල් මිලියන 800 කට අධික මුදලක් අයථා පරිහරනය කිරිමට අමතරව උතුරු නැගෙනහිරට ජංගම දුරකතන අලෙවි කිරීමේ දී සීබිඊ ආයතනය මගින් අනුගමනය කළ යුතු  ක්‍රමවේදවලට පටහැනිව  එල්.ටි.ටි.ඊ. සංවිධානයට ජංගම දුරකතන නිකුත් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරන ලද පරික්ෂණවලදී අනාවරනය කර ගෙන ඇත. 
 
රාජපක්ෂට එල්.ටි.ටි.ඊ.ය සමග පැවැති රහස් එකඟතා                                  
 
රාජපක්ෂ එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග ප්‍රධාන එකඟතා දෙකක් ඇති කරගෙන තිබුණි. පලමු එකගතාවය 2005 ජනාධිපතිවරනයේ  දී රාජපක්ෂට වාසි වන පරිදි උතුරු නැගෙනහිර ඡන්දය වර්ජනය කරවා ගැනීමත් දෙවන එකගතාවය රාජපක්ෂ පවුලේ සමාජිකයින්ට අනතුරක් නොකරන බවටත්ය. රාජපක්ෂ එල්.ටි.ටි.ඊ. සංවිධානය සතුටු කිරිමට රුපියල් කෝටි 200 ට අධික මුදලක් සන්තෝසම් වශයෙන් ලබා දී ඇත. රාජපක්ෂ එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග පවත්වාගෙන ගිය මධුසමය ඔහුගේ බාල සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට 2006 දෙසැම්බර් 01 වන දින කොළඹ පිත්තල වටරවුම අසල දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමග අවසන් විය.  
 
ෆොන්සේකා ඝාතන තැත සහ රාජපක්ෂ රෙජීමය    
 
එල්.ටි.ටි.ඊ. සංවිධානය, හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව 2006 අප්‍රෙල් 25 වන දින එවකට කොම්පඤ්ඤවිදීය පැවැති යුදහමුදා මුලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට ප්‍රයත්න දැරීය. එල්.ටි.ටි.ඊ. මේ සදහා මරාගෙන මැරෙන බෝම්බකාරියක් යෙදවිණි. එම ප්‍රහාරයෙන් ෆොන්සේකා බරපතළ තුවාල ලැබිය. එල්.ටි.ටි.ඊ. ය ෆොන්සේකා ඝාතනයට උත්සහ දරන අවස්ථාව වනවිටත්  රාජපක්ෂ රෙජීමය සහ එල්.ටි.ටි.ඊ. සංවිධානය අතර මධුසමය පැවැතිනි. 
 
තුන්වන ඊළාම් යුද්ධය 2006 ජුලි 21 වන දින මාවිල්ආරු සිද්ධියත් සමග ඇරඹිණ.  එල්.ටි.ටි.ඊ. යට පනිවිඩයක් යවා මාවිල් ආරු ප්‍රශ්නය විසදන්නට මැදිහත් වන ලෙසට, රාජපක්ෂ අලස්ට දුරකතනයෙන් කතා කර කාන්තනට පවසන්නැයි කියා ඇත. ගෝඨාභයට කළු කොටි සමාජිකයකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන තෙක් රාජපක්ෂට එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග සම්බන්ධකම් පැවැති බවට අලස් ත්‍රස්ත විමරශන කොට්ඨාශයට දී ඇති පහත කටඋත්තරයෙන් හෙළිවෙයි.            
    
'2006 ජුලි 21 උදේ ජනාධිපතිතුමා මට දුරකතනයෙන් කතා කොට, මාවිල් ආරු ප්‍රදේශයේ ජලාශයක් වසා ඇති බවත් වහාම කාන්තන්ට කතාකොට ඔහු හරහා එල්.ටි.ටි.ඊ. යට පනිවිඩයක් යවා මේ ප්‍රශ්නය විසදා දෙන ලෙසත් කාන්තන්ට දැනුම් දෙන්නැයි කීවා.'
 

 
රාජපක්ෂ ඊනියා දේශප්‍රේමයේ පෙරට දමා ගෙන තම රේජිමයේ පැවැත්ම වෙනුවෙන් සිංහල සහ දෙමළ කම්කරු පීඩිතයන් ගේ හිස ගසා දමද්දී අලස් බොරදියේ බිස්නස් කර ඇත.එය  ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් වන්නා සේය.
 
ලංකා නිවුස් වෙබ් වෙනුවෙන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි.
Share this article

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top