1150 x 80 px

ෂෙවාග් ශ්‍රී ලංකා කණ්ඩායම පතුරු ගසයි
ඉන්දු-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු කළ ආකාරය කිසිසේත් ක්‍රීඩාශීලීත්වයට නොගැලපෙන බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුව ආවරණ පැළඳ පන්දු රැකීම කලින් සැළසුම් කර සිදුකළ ක්‍රියාවක් බවයි ඔහු ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
ඉන්දීය නායක විරාත් කෝලි දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් සිටි අතර ඔහු ත්‍රිත්ව ශතකය කරා යාම වලක්වාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හිතාමතා කලබලකාරී තත්වයක් ඇතිකළ බව ෂෙවාග් පෙන්වා දෙයි. මීට පෙර ද මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර ඇති බව පවසන ෂෙවාග් අතීත අත්දැකීමක් ද සිහිපත් කරයි. 2010 වසරේ පැවති එක්දින තරගයකදී තමන්ගේ ශතකය අහිමි කිරීම සඳහා හිතාමතා නිපන්දුවක් යොමු කළ බව ඔහු පෙන්වා දෙයි.
 
එම තරගයේදී විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 99 ක් ලබා සිටි අතර ඉන්දියානු කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වූයේ තවත් එක් ලකුණක් පමණි. එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි සුරාජ් රන්දිව් නිපන්දුවක් යොමුකළ අතර ඉන්දියානු කණ්ඩායම තරගය ජය ගත්තද ෂෙවාග්ට ශතකය අහිමි විය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් කිසිදු අපහසුවකින් තොරව පිටියේ රැඳී සිටියද හදිසියේ මුව ආවරණ පැළඳ ක්‍රීඩා කිරීම හා රෝගාතුර වීම සැක සහිත බවයි ඔහු පවසන්නේ. මෙය ක්‍රීඩාශීලීත්වයට කිසිසේත් නොගැලපෙන බවත් මේ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් අයිසීසීය වෙත වාර්තාවක් ලබාදිය යුතු බවත් ෂෙවාග් පෙන්වා දෙයි.
 
දෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසුව අවස්ථා කිහිපයකදී තරගය අතරමග නතර කිරීමට සිදු වූ අතර ඒ වනවිට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනාම පිටියෙන් ඉවත් වී සිටියේය. ඉන්පසු පන්දු රැකීම සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් 11 සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනෙකු ක්‍රීඩක නිළ ඇඳුම හැඳ සිටින දර්ශන ද රූපවාහිනිය ඔස්සේ දක්නට ලැබිණි.
 
කෙසේ වෙතත් ඉන්දීය නායක විරාත් කෝලි සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළ නිසා අර්බුදය තාවකාලිකව සමථයකට පත්විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top