1150 x 80 px

ක්‍රිකට් ගොඩගන්න පත්කළ කමිටුවත් ක්‍රීඩාසමාජ ඡන්දවලට වහ වැටෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හා හිටපු ක්‍රිකට් පරිපාලකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කිරීමට කටයුතු කළේ දිනෙන් දින අගාධයට යන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉන් ගලවාගෙන ජයග්‍රාහී මාවතට කැඳවාගෙන යාමට අවශ්‍ය නව වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහාය. හිටපු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් පිරිසක් ද ඇතුලත් කෙරිණි.
වසර ගණනක් තිස්සේ ක්‍රිකට් පරිහාණයට යනතුරු බලා සිටින ක්‍රිකට් පාලකයන් අවසානයේ හෝ යථාර්ථය තේරුම් ගෙන ඇති බවක් සුවහසක් ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ අතර නව කමිටුව ගෙන එන අලුත් යෝජනා හරහා ක්‍රිකට් ක්‍රිඩාව ජයග්‍රාහී මාවතට පිවිසෙනු ඇති බවට ඔවුන් විශ්වාස කළේ ප්‍රවීණ ක්‍රීඩයකයන් පිරිසක් ද කමිටුවට ඇතුළත්ව සිටි බැවිනි.
 
මෙම කමිටුවෙන් බලාපොරොත්තු වූ එක් ප්‍රධාන අරමුණක් වූයේ මේ වනවිට අන්තයටම පිරිහී ඇති මෙරට පළමු පෙළ මට්ටම උසස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනා කිරීමයි.
 
මාස කිහිපයක් තිස්සේ සිදුකළ නිරීක්ෂණ, සාකච්ඡාවලින් අනතුරුව එම කමිටුව විසින් වාර්තාවක් සකස් කර ඇමතිවරයා වෙත බාරදී ඇති අතර පළමුපෙළ ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ අරුම පුදුම යෝජනාවකි.
 
එම යෝජනාවට අනුව මෙරට පළමු පෙළ කණ්ඩායම් 24 එලෙසම තබා ගනිමින් ඒ කාණ්ඩයේ සහ බී කාණ්ඩයේ සියලු කණ්ඩායම් එකතු කර එකම තරගාවලියක් පැවැත්වීමට යෝජනා කර තිබේ. කණ්ඩායම් සියල්ල කලාප තුනකට වෙන්කර තරගාවලිය පැවැත්වීමටයි ඔවුන් යෝජනා කර තිබෙන්නේ.
 
මෙරට පළමු පෙළ කණ්ඩායම් ප්‍රමාණය 24 දක්වා වැඩිකිරීම හේතුවෙන් තරගකාරීත්වය නැති වී පළමු පෙළ මට්ටමේ ගුණාත්මකභාවය අහිමි වී ගොස් ඇති බව ක්‍රීඩාලෝලීන් පවා මේ වනවිට හොඳින්ම තේරුම් ගෙන තිබේ. එසේ තිබියදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් තුළ ඇති දැනුවත්භාවය හෝ හිටපු ප්‍රවීන පාලකයන්ට සහ ක්‍රීඩකයන්ට නොමැති බවක් මෙම යෝජනාව හරහා පැහැදිලි වේ.
 
වැදගත්ම කරුණ වන්නේ මෙම කමිටුව නියෝජනය කරන බහුතරයක් දෙනා මීට පෙර, මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ ප්‍රමාණය වැඩි බව හා ඒ හරහා ගුණාත්මකභාවයට හානියක් සිදුව ඇති බව පිළිගත් හා ඒ සම්බන්ධයෙන් පරිපාලනයට චෝදනා එල්ල කළ පුද්ගලයන් වීමයි. අදාල පුද්ගලයන් මීට පෙර ප්‍රකාශ කළේ ක්‍රීඩා සමාජ ප්‍රමාණාත්මක වර්ධනයක් වෙනුවට ගුණාත්මක වර්ධනයක් සිදුකළ යුතු බවයි.
 
ක්‍රීඩා සමාජ ප්‍රමාණය වැඩිකිරීම හුදෙක් පාලකයන්ගේ අවශ්‍යතාවය අනුව සිදුවූවක් වන අතර එහි යටි අරමුණ වූයේ ක්‍රිකට් නිළවරණයේදී තමන්ට අවශ්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමයි. පාලකයන්ගේ එම අරමුණ ඉටුවී ඇති අතර එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස මෙරට පළමු පෙළ මට්ටම මේ වනවිට නැත්තටම නැති වී ගොස් තිබේ. ඒ සඳහා හොඳම සාක්ෂිය මෙරට පළමු පෙළ මට්ටමේ හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයන් ජාත්‍යන්තරය ඉදිරියේ අන්ත අසරණවීමයි. පළමු පෙළ තරගවලදී ඉතා අඩු සාමාන්‍යයක් සහිතව සෑම තරගයකදීම කඩුලු ලබාගන්නා පන්දු යවන්නන් ජාත්‍යන්තර තරගවලදී දැඩි ප්‍රහාරයකට ලක්වේ. එසේම ඉහළ සාමාන්‍යයක් සහිතව ශතක පිට ශතක වාර්තා කරන පළමු පෙළ පිතිකරුවන් ජාත්‍යන්තර තරගවලදී ඉතා අඩු ලකුණුවලට දැවී යයි. මෙරට පළමු පෙළ ක්‍රීඩාව වර්තමානයේ තිබෙන තත්වය අවබෝධ කරගැනීමට එය හොඳින්ම ප්‍රමාණවත්ය.
 
කෙසේ වෙතත් මෙම වාර්තාව ක්‍රීඩා ඇමතිවරයා වෙත බාරදීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රීඩකයක් සහභාගි වී නොමැති බව ද වාර්තා වේ. ඒ කමිටුව විසින් සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් එකඟ නොවීම නිසාදැයි දන්නේ නැත. කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ ක්‍රිකට් ගොඩනැංවීම වෙනුවෙන් ප්‍රවීන පරිපාලකයන් හෝ ප්‍රවීන ක්‍රීඩකයන් දැනෙන කිසිවක් නොකරන බවයි. ඒ වත්මන් පාලනය සම්බන්ධයෙන් ඇති කළකිරීම නිසා විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි කමිටුවක් නියෝජනය කරන්නේ නම් සහ ක්‍රිකට් වැටී ඇති වලෙන් ගොඩගැනීමට සැබෑ වුවමනාවක් ඔවුන්ට ඇත්නම් ඒ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කළයුතු බව කිවයුතුය.
 
මෙම වාර්තාව බාරදීමේ අවස්ථාවට සම්බන්ධ වූ ප්‍රධාන ක්‍රීඩා සමාජ දෙකක් වාර්තාවට එරෙහි වී ඇති අතර ඔවුන් පවසන්නේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාත්මක ඉහළ නොදමා ගුණාත්මක වර්ධනයක් කළයුතු බව පවසන පුද්ගලයන් ද අවසානයේ පැවති තත්වයම ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි.
 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සමස්ත ක්‍රීඩාවේම වර්තමානය ගැන කතා කිරීමට කිසිවක් නොමැත. එසේම අනාගතයක් ද නොමැති බව මෙවැනි සිදුවීම්වලින් තවදුරටත් තහවුරු වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top