1150 x 80 px

 

බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවත් කෙරේ !
අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය වෙත පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. විෂය භාර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම  අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමයේ නියෝජිතයින් සමඟ ඩුබායිහි හිදී පැවති සාකච්ජාවන්හි ප්‍රතිඵලයක් ලෙස එම තහනම ඉවත් වී ඇත. පසුගිය සැප්තැම්බර් මස 23 වැනි දින සිට අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනම පනවා තිබුණි. 
 
ක්‍රීඩා පනතට පටහැනිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීම නිසා විෂය භාර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා ඊට අතුරු කමිටුවක් පත්කරන ලදී. ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පවත්වා ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා එලෙස කටයුතු කර තිබුණේ ක්‍රීඩා පනතට පටහැනිව යමින් අදාළ විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වැනිදා සංගමයේ නිලවරණය පැවැත්වීමයි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම තීන්දුවත් සමඟ අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමයද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනම පැනවීය.
 
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ක්‍රීඩා නීතිය පිළිබඳව ඩුබායි හි පැවති සාකච්ජා වලදී අමාත්‍යවරයා පැහැදිලි කර ඇති අතර ක්‍රීඩා නීතියට එරෙහිව යමින් කිසිදු සංගමයකට කටයුතු කළ නොහැකි බව ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අතුරු කමිටුව කළමනාකරණ කමිටුව ලෙස සංශෝධනය කරගන්නා ලෙස අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමය පවසා ඇති අතර නිලවරණය පැවැත්වීම බැඩ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාවට අනුව සිදුවන බවත් එහිදී සඳහන් කර ඇත. 
 
නිලවරණය පැවැත්වෙන තුරු පත්වන කළමනාකරණ කමිටුව වෙනුවෙන් නිශාන්ත ජයසිංහ,රොහාන් ද සිල්වා,ක්ලැරන්ස් හෝමර්,මංගල ගමගේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමටද තීරණය වී තිබේ. කෙසේ වෙතත් අන්තර් ජාතික බැඩ්මින්ටන් සංගමය පනවා තිබූ තහනම හේතුවෙන් ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩල තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක්ද පැවතුණි. එමෙන්ම එය ඉදිරි ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක්ද පැවතුණි.
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top