1150 x 80 px

 

IPL විරෝධය ඇරඹෙයි
ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ (IPL) ක්‍රීඩක වෙන්දේසිය අවසන්වීමත් සමගින් ඒ සඳහා සැලකිය යුතු විරෝධයක් එල්ල වී තිබේ. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය මෙම විරෝධය අවුළුවමින් පළමු ගල් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පවසන්නේ ක්‍රීඩකයන් වෙළඳපොලේ විකිණෙන භාණ්ඩ තත්වයට ඇදදමා ඇති බවයි.
නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ විධායක නිළධාරී හීත් මිල්ස්, නවසීලන්ත හෙරල්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටින්නේ IPL බලධාරීන් ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයන් ගවයන් වැනි සතුන් මට්ටමට සලකා කටයුතු කරන බවයි.
 
මේ අතර වෙලින්ටන් ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරියෙකු වන පීටර් ක්ලින්ටන් ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියේ මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය කුරිරු හා නොසැලකිලිමත් එකක් බවයි. වෙන්දේසිය සිදුවූ ක්‍රමවේදය අනුව එය ගැලපෙන්නේ වර්තමානයට නොව මධ්‍යතනය යුගයට බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.
 
ක්‍රීඩකයන් වෙන්දේසියේදී ඔවුන්ගේ දක්ෂතාවලට මිලක් තීරණය කිරීම හැර මානුෂික කාරණා සලකා බලා නොමැති බවත් ක්‍රීඩකයන්ට තමන් ක්‍රීඩා කරන්නේ කුමන පරිපාලනයක් යටතේද, කුමන පුහුණුකාරීත්වයක් යටතේද යන්න තීරණය කිරීමට පවා අවස්ථාවක් නොමැති බවත් හීත් මිල්ස් අවධාරණය කරයි. ක්‍රීඩකයන් අදාල කණ්ඩායම සමග එක්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ගේ අදහස් විමසීමට අවස්ථාවක් තිබිය යුතු බවත් එසේ නොමැතිනම් එය වහලුවන් වෙන්දේසියක් ලෙස සැලකිය හැකි බවත් මිල්ස් පවසයි.
 
'IPL තරගාවලිය විශිෂ්ට තරගාවලියක්. ඒ ගැන විවාදයක් නැහැ. ගොඩක් හොඳ දේවල් තිබෙනවා. එහෙත් ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන්ගේ අදහස් සම්බන්ධයෙන් දක්වන ආකල්පය පිළිගැනීමට නොහැකියි. ක්‍රීඩකයෙක් යම් කණ්ඩායමකට එක්වීමේදී තමන්ට කටයුතු කරන්නට සිදුවන්නේ කවර පරිපාලනයක් යටතේද කවර පුහුණුකරුවන් යටතේද යන්න තීරණය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට තිබිය යුතුයි. ලෝකයේ වෙනත් කිසිදු රටක හෝ කිසිදු තරගාවලියක මෙවැනි දෙයක් සිදුවන්නේ නෑ, ක්‍රීඩකයන්ට තමන් ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායම සමගද යන්න තීරණය කිරීමේ අයිතිය හිමි වෙනවා.' හීත් මිල්ස් පවසයි.
 
වසර 10 ක් තිස්සේ සමහර ක්‍රීඩකයන් කණ්ඩායම් 5 ක හෝ 6 ක ක්‍රීඩා කර ඇති බව පෙන්වා දෙන මිල්ස් පවසන්නේ ඒ අනුව ක්‍රීඩකයන්ට කිසිවිටෙකත් සෙසු සහෝදර ක්‍රීඩකයන් සමග සබඳතා ගොඩනගා ගැනීමේ අවස්ථාවක් හිමි නොවන බවයි. එසේම ඒ හරහා දිගුකාලීන සංස්කෘතියක් බිහිවීමේ අවස්ථාවද බලධාරීන් විසින් අහිමි කර ඇති බව ඔහු පවසනවා.
 
කෙසේ වෙතත් IPL ප්‍රධාන මෙහෙයුම් නිළධාරී හේමංග් අමීන් මහතා පවසන්නේ කිසිදු ක්‍රීඩකයෙකුට අසාධාරණයක් නොවන අයුරින් වෙන්දේසිය පැවැත්වෙන බවයි. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී සෑම කණ්ඩායමක්ම ඔවුන් අයත් මුදල්වලින් 75% ක් පමණ වියදම් කර ඇති බව අමීන් පෙන්වා දෙයි. වෙන්දේසිය සඳහා කණ්ඩායම් 08 සඳහාම ඩොලර් මිලියන 100 ක් නිදහස් කර තිබූ අතර ඉන් ඩොලර් මිලියන 96.875 ක් වැයකර තිබේ.
 
ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී නොගන්නා ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය අවම කිරීමට උත්සාහ කරන බවත් ඒ අනුව මෙම වසරේ වෙන්දේසි නොවූ ක්‍රීඩකයන් ප්‍රමාණය (unsold) 60 ක් පමණ වන බව ද එය 2014 වසරට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක තිබෙන බව ද ඔහු පවසයි. 2014 වසරේදී සමස්ත unsold ක්‍රීඩකයන් ප්‍රමාණය 200 කි.
 
මෙම වසරේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සමස්ත ක්‍රීඩකයන් ප්‍රමාණය 581 ක් වන අතර වෙන්දේසියට ඉදිරිපත් වූ නවසීලන්ත ක්‍රීඩකයන් 24 දෙනාගෙන් අලෙවි වූයේ ක්‍රීඩකයන් 07 දෙනෙකු පමණි.
 
කෙතරම් විරෝධතා එල්ල වුවද IPL බලධාරීන් වෙන්දේසියේදී අනුගමනය කරන ක්‍රමවේදය වෙනස් වේයැයි විශ්වාසයක් නොමැති බවත් එහෙත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් මිලදී ගැනීමේදී ක්‍රීඩකයන්ගේ කැමැත්ත සඳහා යම් ඉඩක් ලබාදීම ක්‍රීඩකයන්ගේ මෙන්ම තරගාවලියේද යහපත් වර්ධනයට හේතු වන බව ද හීත් මිල්ස් නවසීලන්ත හෙරල්ඩ් පුවත්පතට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top