1150 x 80 px

ක්‍රිකට් සභාපති - තේරීම් කමිටු අවුල විසඳෙයි

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව අතර පැවති මතගැටුම අවසන් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මතගැටුම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ සෙසු සාමාජිකයන් තවදුරටත් සේවය කිරීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගැටළුව ඇතිවූයේ ලබන 17 වැනිදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග ආරම්භ වන නිළ නොවන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ කණ්ඩායම සම්බන්ධයෙනි. එම තරගාවලිය සඳහා තේරීම් කමිටුව නම්කළ කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය උත්සාහ කළේය. දෙපාර්ශ්වය අතර මතගැටුම් ආරම්භ වූයේ එතැන් සිටයි. මේ වනවිට ටෙස්ට් සංචිතයේ දක්ෂතා අතර නොමැති දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, දිනේෂ් චන්දිමාල්, ධනංජය සිල්වා ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා එක්කිරීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු විය.

ඒ වනවිට තේරීම් කමිටු සභාපතිවරයා දකුණු අප්‍රිකාවේ සිටි අතර වාර්තා වූයේ ඔහු තේරීම් කමිටු සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. එසේම සෙසු සාමාජිකයන්ද ඉල්ලා අස්වන බව වාර්තා වූ විය.

කෙසේ වෙතත් සනත් ජයසූරිය නැවත ලංකාවට පැමිණීමෙන් පසු තේරීම් කමිටුව හා තිලංග සුමතිපාල මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා වූයේ මොනවාදැයි නිළ වශයෙන් වාර්තා නොවුනද සියලු මතගැටුම් අමතක කර තවදුරටත් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මේ අතර තේරීම් කමිටුව නැවත අද හමුවීමට නියමිත අතර ඉන්පසු ලබන 17 වැනිදා ඇරඹෙන නිළ නොවන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන සංචිතය නිළ වශයෙන් නම්කිරීමට නියමිතය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top