1150 x 80 px

මැතිව්ස්ට රුපියල් මිලියන 22 ක වටිනාකමක් !

අද (20) පැවති IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට රුපියල් මිලියන 22 ක වටිනාකමක් හිමිව තිබෙනවා. මැතිව්ස් තෝරාගෙන ඇත්තේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසිනි.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමේදී ඔහුට ඉන්දියානු රුපියල් කෝටි දෙකක වටිනාමක් නියම කර තිබූ අතර දිල්ලි කණ්ඩායම ඔහු මිලදී ගෙන ඇත්තේ එම නියම කළ වටිනාකමටයි. ඔහු සමග එංගලන්ත සීමිත ඕවර් නායක ඔයින් මෝගන් සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ද කෝටි දෙකක වටිනාකමකට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

ඔයින් මෝගන් ද අදාල වටිනාකමට ම කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ. කෝටි දෙකක වටිනාකමක් නියම කර තිබූ බෙන් ස්ටෝක්ස් පූනේ සුපර්ජෙයින්ට් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 14.5 කට මිලදී ගැනීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර වැඩිම වටිනාකමක් හිමිවූ ක්‍රීඩකයා බවට පත්වීමට ස්ටෝක්ස් සමත්ව තිබේ.

මීට අමතරම ඩ්වේන් බ්‍රාවෝ, මාලන් සැමුවෙල්ස්, ඇලෙක්ස් හේල්ස්, රොස් ටේලර්, මාටින් ගප්ටින්, ඉම්රාන් තාහිර්, ක්‍රිස් ජෝර්ඩ්න් වැනි ප්‍රබල ක්‍රීඩකයන් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් එංගලන්ත නවක ක්‍රීඩක ටයිමර් මිල්ස් ඉන්දියානු රුපියල් කෝටි 12 කට අලෙවි වී තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ලක්ෂ 50 ක වටිනාකමකට වෙන්දේසිය වෙත ඉදිරිපත් කර තිබීමයි. ඔහු මිලදී ගෙන ඇත්තේ බැංගලෝර් කණ්ඩායම විසිනි. මීට අමතරව කෝටි 1.5 කට වෙන්දේසියට ඉදිරිපත් කළ ට්‍රෙන්ට් බෝල්ට් කෝටි 05 කට කොල්කටා කණ්ඩායම විසින් ද කෝටි 01 කට වෙන්දේසියට ඉදිරිපත් කළ කෙගිසෝ රබාඩා කෝටි 05 කට දිල්ලි කණ්ඩායම විසින් ද මිලදී ගෙන තිබේ. ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රෂිඩ් ඛාන් ඉන්දියානු රුපියල් ලක්ෂ 50 කට වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර ඔහු කෝටි 04 කට මිලදීගෙන තිබෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.

IPL ඉතිහාසය පුරා කණ්ඩායම් අතර සිටි සරබ් තිවාරි, ඉර්ෆාන් පතන්, ඉෂාන්ට් ෂර්මා, ප්‍රග්යන්ට් ඔජා වැනි ක්‍රීඩකයන් ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වීම ද විශේෂත්වයකි.

ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර ද දිල්ල ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඊට අමතරව කොල්කටා සහ පූනේ වොරියස් යන කණ්ඩායම් ද නියෝජනය කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top