1150 x 80 px

බංග්ලාදේශයට ලකුණු 190 ක ඉලක්කයක්

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බංග්ලාදේශ-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 319 ක් පමණි. ඒ අනුව බංග්ලාදේශයට තරගය ජයගැනීම සඳහා ලැබී ඇත්තේ ලකුණු 190 ක ඉලක්කයකි.

බංග්ලාදේශය මෙම තරගය ජයගතහොත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගන්නා පළමු ටෙස්ට් ජයග්‍රහණය වනු ඇත. මෙතෙක් දෙරට අතර තරග 17 ක් පවත්වා ඇති අතර තරග 15 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඉතිරි තරග දෙක ජය පරාජයෙන් තොරව කෙළවර විය.

සිව්වැනි දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 268 ක් ලබාසිටි අතර කඩුල්ලේ රැඳී සිටි දිල්රුවන් පෙරේරා ලකුණු 26 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 16 ක් ලබාගෙන තිබිණි.
ඊයේ දිනයේ ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ දිල්රුවන් පෙරේරා අද උදෑසන තරමක් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහළ දැමීමට සමත් අතර ලක්මාල් දිල්රුවන් සුසංයෝගය 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 80 ක් එක්කළේය. අවාසනාවන්ත ලෙස දිල්රුවන් දුවද්දී දැවී නොගියේ නම් එය ශතක සබඳතාවයක් දක්වා යාමට ඕනෑතරම් ඉඩ තිබිණි.

අද දිනයේ යැවූ 13 වැනි පන්දු වාරයේදී දිල්රුවන් දැවීයන විට ලකුණු 50 ක් රැස්කර තිබිණි. ඔහුට හොඳ සහායක් ලබාදුන් සුරංග ලක්මාල් තමන්ට පිත්තෙන්ද යමක් සිදුකළ හැකි බව ඔප්පු කර පෙන්වූයේ ලකුණු 42 ක් ලබා ගනිමිනි. ඔහු පළමු ඉනිමේදී ලකුණු 35 ක් වාර්තා කළේය.

දිල්රුවන්ගේ දැවීයාමෙන් අනතුරුව ඊළඟ පන්දුවාරයේදි ඉනිම අවසන් කරමින් සුරංග ලක්මාල් දැවීගියේය.

මේ වනවිට බංග්ලාදේශය ලකුණු 190 ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිස සිටින අතර ඔවුන්ට ඒ සඳහා අවම වශයෙන් ඕවර් 80 ක් පමණ ඉතිරිව තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top