1150 x 80 px

ලකුණු 50 ක් ගහනකොට ආබාධ වෙන ක්‍රීඩකයන් ගෙදර යා යුතුයි - දයාසිරි ජයසේකර
ලකුණු 50 ක් ලබාගන්නා විට විවිධ ආබාධවලට ලක්වන ක්‍රීඩකයන් කිසිසේත් ජාතික කණ්ඩායමකට සුදුසු නොවන බවත් ඔවුන්ට වඩාත් සුදුසු වන්නේ ක්‍රීඩාව අත්හැර ගෙදර නැවතීම බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝදෙනා උදරය ඉදිරියට නෙරාගිය ක්‍රීඩකයන් බවත් එය තරගවලදී හොඳින් පෙනෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පැවැත්වූ ඩිප්ලෝමා පාඨමාලාවක සහතික බෙදාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමිනි.
 
මෙරට දක්ෂ පුහුණුකරුවන් විදෙස් රටවල ගොස් හැකියාවන් පෙන්වද්දී අපේ රටේ ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා අභාවයට යමින් තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 
 
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 
'හොඳම උදාහරණය චන්දික හතුරුසිංහ. එයා බංග්ලාදේශයේ පුහුණුකරු උනාට පස්සේ බංග්ලාදේශය කණ්ඩායම දවසින් දවස දියුණු වෙලා. හතුරුසිංහ එක්ක තවත් දක්ෂ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්නවා. අනිත් එක තමයි කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් උන පමණින් එයාට දක්ෂ පුහුණුකරුවෙක් වෙන්න බෑ. හොඳම උදාහරණය ඩෙව් වට්මෝර්. එයා ජාත්‍යන්තර තරග 50 ක් වත් සෙල්ලම් කරලා නෑ. ඒත් ඔහු ඉතා දක්ෂ සහ නිර්මාණාත්මක පුහුණුකරුවෙක් උනා.'
 
'ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කරලා තියනවා ඒ ඒ දිස්ත්‍රික්කවලට විශේෂ වූ ක්‍රීඩා 23 ක් හඳුනාගෙන ඒවා සංවර්ධනය කරන්න. ඒ සඳහා දක්ෂ පුහුණුකරුවන් 23 දෙනෙක් තෝරාගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.'
 
මෙරට ඉතා දක්ෂ පුහුණකරුවන් සිටින බවත් එහෙත් ඒ බොහෝදෙනා ආත්මාර්තකාමී ලෙස කටයුතු කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා පෙන්වා දෙයි. ඉදිරියේදී ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු තරගාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් ඉදිරියට ගෙනඒම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top