2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා’යි ශුභාශිංසනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස වුවත් රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් අප සැම එක්ව පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි යැයි තමන් ඒකාන්තයෙන්ම විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

නව වසර වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.


2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.

අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය. 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ළඟා කර ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ වේ.

ලාංකීය පොදු මහ ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන සහ සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස සනිටුහන් වනු ඇත.

මෙරට මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයක අභියෝගයටද අපි පසුගිය වසරේදී එක්ව මුහුණ දුන්නෙමු. එහිදී අප ජනතාව තුළ ඇති සහකම්පනීය මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකට උදුරා ගත නොහැකි මහඟු ගුණාංගයක් බව මනාව සනාථ කරමින් රට පුරා ජනතාව විපතට පත් සිය සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගත්හ. මෙම අභියෝගයට මුහුණ දීමේදී සහාය දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ යළි නැඟී සිටීමට මිතුරුකමේ සවිය සැපයූ ලොව සියලු මිත්‍ර රාජ්‍ය වෙතද, ආපදා තත්වය හමුවේ ස්වකීය දිවි නොතකා කටයුතු කළ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව මෙන්ම, මෙරට රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත. ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයි. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් අප සැම එක්ව පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන්නෙමු.

නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම, නව වසර ගැන සුබවාදී ආකල්පවලින් යුතුව යළි සැලසුම් කරන්නට අවස්ථාවක් උදා කරයි. අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා’යි ශුභාශිංසනය කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 01 දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...