අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇති බවත් පසුගිය දිනක මේ තත්ත්වය නිසා එක පවුලක්ම සියදිවි නසා ගෙන ඇති බවත් මේ අවස්ථාවේ අපේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ රටේ ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළත් මහපාරේ දුප්පත් මිනිසුන් ඇතුළු සියලු පුරවැසියන් තාඩන පීඩන රැසකට මුහුණ දී ඇති බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ගෘහ මූලික පවුල් ඒකකවලින් සියයට 60ක ආදායම් මට්ටම පහළ ගොස් ඇති බවත් ගෘහමූලික පවුල් ඒකකවලින් සියයට 90ක වියදම ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මේ බංකොලොත්භාවය තුළදීත් සියයට 3.4ක් පමණ ජීවිත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් ඔවුන් ජන සමාජයේ සුපිරි පැළැන්තිය බවත් සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අන්ත දූෂිත ක්‍රියාදාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවත් එම පරීක්ෂණ දේශපාලන සංදර්ශන බවත් එම පරීක්ෂණ හරහා කිසිදු දෙයක් සිදු නොවන බවත් සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගයට මන්ත්‍රීවරු 113 දෙනකු පරාජය කිරීමට ඡන්දය ලබා දුන් බවත් ඒ අනුව ඔවුන්ද මෙම ඖෂධ වංචාවට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි ගාව ඩීල් දේශපාලනයක් නැහැ
සමගි ජන බලවේගය සතුව ඩීල් දේශපාලනයක් නොමැති බවත් එවැනි අසික්කිත ක්‍රියාදාම සමගි ජන බලවේගය තුළ නොමැති බවත් හොරකමට දුෂණයට වංචාවට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබල දඩුවම් ලබා දීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් එය දඩුවම් දීමකින් අවසන් නොකර හොරා කන ලද සියලු මුදල් නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
එසේම සමගි ජන බලවේගය සන්ධාන ගැසීමේ දී කිසිදු අහිතකර ගිවිසුමකට එළඹ නැති බවත් ඇති කර ගත් ගිවිසුම වන්නේ මැතිවරනයෙන් පසු සුරසැප ජීවිත අත්හැර ජනතාවගේ සේවකයන් ලෙස කටයුතු කිරීම බවත් එය මෙරට ඉතිහාසය වෙනස් කිරීමට පවා හේතුවක් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම සන්ධානය ගැන විවිධ පුද්ගලයන් විවිධ මත පළ කළත් එය ප්‍රතිපත්ති ගරුක සන්ධානයක් බවත් එහි ඔලුගෙඩි සෙල්ලම් තනතුරු සෙල්ලම් නොමැති බවත් ය.
හොරකම් මැරකම් කළොත් පක්ෂයෙන් එලියට
එසේම සමගි ජන බලවේගයේ සාමාජිකයන් හොරකම් මැරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය ජාවාරම මිනිමැරුම්වලට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපන බවත් එවැනි දේවල් සිදු කිරිමට අපේක්ෂාවෙන් සිටින අයට පක්ෂය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
RN
