ඇඩොල්ෆ් විසිනි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ සිදුකළ සංචාරයේ දී සහ එම සංචාරය අතරතුර ඔහු තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමේ දී සිදුකළ වියදම් සහ විමර්ශන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී තිබේ. මහජන මුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ජනවාරි 28 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.
ඇප ලැබීම
මෙම කරුණ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉකුත් අගෝස්තු 26 වන දින වික්‍රමසිංහ මහතාට ඇප ලබා දෙන ලදී. නඩු කටයුතු අතරතුර, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් ඔහුගේ පැමිණීම තහවුරු කිරීම ඇතුළු එකී සංචාරයට අදාළ ලියකියවිලි සත්‍ය බව අධිකරණය විසින් සඳහන් කරන ලදී. එකී විශ්ව විද්‍යාලය විසින් ඒ මහතාගේ පැමිණීම තහවුරු කිරීමට යම් කාලයක් ගත වූ බැවින් එම ප්‍රමාදය ද සාකච්ඡාවට බඳුන් වූ නමුත්, එසේ සිදුවූයේ සති අන්තයක් සහ රජයේ නිවාඩු දිනයකින් අනතුරුව එක්සත් රාජධානියේ කාර්යාල නැවත විවෘත කරන ලද්දේ අඟහරුවාදා දිනක වීම නිසා ය. එරට කාර්යාල නැවත විවෘත කිරීමෙන් ටික කලකට පසු එම විශ්ව විද්‍යාලයෙන් ඔහුගේ පැමිණීම තහවුරුකළ ලිපියක් නිකුත්කළ බව අධිකරණ වාර්තාවලින් පෙනී ගිය ද, ඒ වන විටත් ඒ මහතාට ඇප ලබා දී තිබුණි.
සරෝජා කළ ගෙවීම් අවධානයට
නඩුවේ ප්‍රධාන අවධානයක් යොමුවන්නේ එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන් තුන්වන පාර්ශවීය සමාගමක්වන ස්කයි විංග්ස් ලිමිටඩ් වෙත කරන ලද ගෙවීම් සම්බන්ධයෙනි. අදාළ සමාගම වෙත කරන ලද ගෙවීම් අතර වාහන කුලියට දීම, හෝටල් නවාතැන් පහසුකම්, ආහාර පාන සහ ආගන්තුක පර්යන්ත සේවා ආදිය සඳහා වූ වියදම් ඇතුළත් බව අධිකරණ වාර්තාවලින් පෙනී යයි. එම වාර්තාවලට, පවුම් 14,000 ඉක්මවන වාහන කුලියට ගැනීම සහ පවුම් 9,000 කට ආසන්න හෝටල් සේවා වෙන්කරවා ගැනීම ආදිය ඇතුළත් වේ.
රාජ්‍ය නායකයන්ගේ නිල විදේශ සංචාර සාමාන්‍යයෙන් කලමනාකරණය කරනු ලබන්නේ තානාපති කාර්යාල ප්‍රොටෝකෝල නිලධාරීන් සහ පරිපාලන කාර්ය මණ්ඩලය හරහාවන බැවින්, මෙම වියදම්වල අවශ්‍යතාවය සහ භාවිතය සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇත. හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් නිල ප්‍රවාහන සේවාව සහ ආරක්ෂාව සැපයූ බව ද අධිකරණ වාර්තාවල සඳහන් විය.
වාහන භාවිතය සම්බන්ධයෙන් පැණනඟින ගැටළු
විශේෂයෙන් ම තානාපති කාර්යාලයේ පැවතියේ එක් ශ්‍රී ලාංකික වාහනයක් පමණක් වීම, සහ ඇතැම් නිලධාරීන් පමණක් වාහන භාවිතාකළ පසුබිමක, කුලියට ගත් වාහන භාවිතාකළේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ ගැටළු මතු වී ඇත. ගෙවන ලද සේවාවන් සියල්ල සම්පූර්ණයෙන් ම භාවිතා කර තිබේද, නැතහොත් භාවිතයට නොගත් පහසුකම් සඳහා කිසියම් ගෙවීමක් කර තිබේද යන්න පිළිබඳ ප්‍රසිද්ධියේ පැහැදිලි කිරීමක් ලබා දී නොමැත. මෙම සංචාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ තත්ත්වය කුමක්ද, මෙම සංචාරයන්ගෙන් ඕනෑම එකක් පෞද්ගලික සංචාර ලෙස පසුව සඳහන් කර තිබේද, සහ එසේ සඳහන්කර තිබේ නම් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඒ සඳහා මුදල් ඉල්ලා ඇත්තේ මන් ද යන්න පිළිබඳව තවදුරටත් ගැටළු මතු වී තිබේ.
විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා මතුකරන ගැටළු
වියදම් ගැටළු වලට අමතරව, මෙම විමර්ශනය සිදුකර ඇති ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර මතුකර තිබේ. අධිකරණ ඉදිරිපත් කිරීම් වලදී, විදේශ බලධාරීන් සමඟ විධිමත් සහයෝගීතාවයක් සඳහා අවශ්‍යවන අන්‍යෝන්‍ය නීති සහයෝගීතා (Mutual Legal Assistance: MLA) ක්‍රියාපටිපාටි හරහා එක්සත් රාජධානියෙන් නිල තොරතුරු ලබා ගත යුතුව තිබූ බව නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. MLA සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලියේ දී, නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරන මෙන් විමර්ශකයන්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණය හමුවේ අනාවරණය කරන ලද ලියකියවිලිවලින් පෙනී යයි. කෙසේවෙතත්, මෙම සම්බන්ධීකරණය සිදුව නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, MLA සඳහා විධිමත් අනුමැතියක් ලබා ගැනීමට පෙරාතුව ම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්සත් රාජධානිය බලා පිටත්ව ඇති බව ද අනාවරණය විය. අපරාධ විමර්ශන නිලධාරීන්ගේ වෘත්තීයභාවය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා නමුදු, ජාත්‍යන්තර සහයෝගීතාවයට අදාළ පරීක්ෂණවල දී ස්ථාපිත ක්‍රියාපටිපාටිමය ආරක්ෂණ විශෛ්ෂයෙන් අනුගමනයකළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මීළඟ අධිකරණ දිනය
නඩු පවරන කණ්ඩායම තුළ විවිධ වෙනස්කම් සිදුවිය හැකි බවට තහවුරු නොකළ වාර්තා ලැබී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් නිකුත්කර නොමැත. මෙම නඩුව එළඹෙන ජනවාරි 28 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නැවත කැඳවීමට නියමිත අතර, එහිදී වියදම්, ලියකියවිලි සහ විමර්ශන ක්‍රියාපටිපාටි පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම් අපේක්ෂා කෙරෙනු ඇත.
මෙම ක්‍රියාදාමය රාජ්‍ය මූල්‍ය පිළිබඳ ගැටළුවලට පමණක් නොව, විදේශීය අධිකරණ බල ප්‍රදේශ සම්බන්ධ ඉහළ පෙළේ නඩු වලදී ස්ථාපිත නීතිමය ක්‍රියාවලීන්ට අනුගත වීමේ වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
යන දේ නැවත පැමිණෙන බවටත්, බොහෝ විට එසේ පැමිණෙන්නේ තත්ත්වය උත්සන්න වී බවටත් වූ කියමනක් ඇත. මෙම නඩුව දේශපාලන පලිගැනීමක් බවට පත්වූවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කියමන සැලකිල්ලට ගත යුතු ව ඇත.

