සිහිල් සෘතුවේ
අවසාන දුක්මුසු සැඳෑවය.
දිගු හෙවනැලි
දසත වැතිර ඇත.
අලුපාට අහසෙන්
පෙරී එන තාරුකා එලියක්,
හිස දෙපැත්තට සොලවන
මල් ගස් කීපයක්,
දුක සිංදුම කියන සුළඟක්.
යතුර හමුවූ බව
ඔබ දන්වා ඇත.
එහෙත් මතක සේප්පුව
දැන් මවෙත නැත.
ගඟක, පොකුණක, මුහුදක ගිල්වා ඇත.
කුමන ගඟුලද, කවර පොකුණද
කිනම් සාගරයකදැයි දන්නා
එකම එක කෙනාද ජීවතුන් අතර නැත.
යළි පණිවිඩ නොඑවන්න
වෙහෙසය, මිලානය හද.
~ වර්ණ රසිකා ගුණවර්ධන