*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

රූබල් 10කට බයිසිකලයක්!

මේක විප්ලවයට පසුව කියන විප්ලවයට පෙර රුසියාවේ කතාවක්. ඉතිං ඔය විප්ලවයට පෙර කාලයේ ගොඩක් දේවල් විප්ලවයට පසුව සිදු වූ තරම් සාධාරණ ලෙස සිදු නොවූ බව කවුරුත් දන්නවනේ. ඔය කාලයේදී ගුණාත්මක භාවයෙන් එතරම් ඉහළ නැති බඩු කොහොම හරි පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීම සඳහා සමාගම් විසින් විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. මේකත් ඒ වගේ උපක්‍රමයක් ගැන කතාවක්. වැඩේ පටන් ගන්නේ ජනප්‍රිය පුවත්පතක හෝ සඟරාවක පළ කෙරෙන පහත දැක්වෙන ආකාරයේ වෙළඳ දැන්වීමකින්.

රූබල් 10කට බයිසිකලයක්!

රූබල් 50ක් වටිනා බයිසිකලයක් රූබල් 10කට මිල දී ගැනීම සඳහා ලැබෙන දුලබ අවස්ථාවක්. වැඩි විස්තර දැනගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා අපට ලියන්න.

අනේ ඉතිං අහිංසක පාරිභෝගිකයෝ විශාල පිරිසක් මේ ඇමට අහුවෙනවා. විස්තර විමසා සමාගමට ලියන අයට විස්තර පත්‍රිකාවක් ලැබෙනවා. ඒ පත්‍රිකාවේ තිබෙන විස්තර අනුව, රූබල් 10ක් ගෙවන පාරිභෝගිකයෙක්ට එසැණින් බයිසිකලයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ කූපන් හතරක්. කරන්න තියෙන්නේ මේ කූපන් එකක් රූබල් 10 බැගින් හතර දෙනෙකුට විකුණලා රූබල් 40ක් හොයා ගන්න එකයි. ඊට පස්සේ ඒ රූබල් 40ත් අර සමාගමට යැවුවහම බයිසිකලේ ලැබෙනවා.

කොහොම වුනත් වැඩේ නරක නැහැනේ! අන්තිමට අතින් යන්නේ රූබල් 10යි. ඒ කියන්නේ ඇත්තටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා.

දැන් මේ කූපන් එකක් කවුරු හෝ කෙනෙක් රූබල් 10ක් ගෙවා මිල දී ගත යුත්තේ ඇයි?

රූබල් 10ක් ගෙවා කූපන් එකක් මිල දී ගන්නා කෙනෙකුට ඒ කූපන් එක අර සමාගමට යවලා තව ඒ වගේම කූපන් හතරක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කූපන් හතර විකුණලා රූබල් 40ක් හොයාගෙන සමාගමට යවලා රූබල් 50ක් වටිනා බයිසිකලයක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න පුළුවන්.

අර මම කලින් කියපු පොතේ තිබුණේ ඔය වගේ කතා. කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක් කියා කිවුවේ ඒ නිසා. දැන් මේ කතාව අහපු ගමන්ම එක පාරට කරකවලා අත ඇරියා වගේ ගතියක් එනවනේ. ඇයි ඔය ක්‍රමයට හැම කෙනෙකුටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා. ඒ එක්කම බයිසිකලය විකුණන සමාගමට හැම බයිසිකලයටම රූබල් 50 ගානේ ලැබෙනවා. මේක වෙන්නේ කොහොමද?

ඔය පොතේ බොහොමයක් ගණිත ගැටළු වලින් කරන්නේ පාඨකයාව අවුල් කරලා, හිතන්න පොළඹවලා, ඉන් පසුව පැහැදිලි කිරීමක් කරලා අවුල ලිහන එකයි. ඉතා හොඳ ඉගැන්වීමේ උපක්‍රමයක්. පෙර ලිපියේ ලියූ පරිදි, මම මුලින්ම පිරමිඩ් ක්‍රම ගැන දැන ගත්තේ ඔය පොතෙන්.

ඊට පස්සේ අසූ හතේ අවුරුද්දේ පමණ ලංකාවේ ඔය පිරමිඩ් රැල්ලක් පටන් ගත්තා. අසූ අට පමණ වෙද්දී තරමක් ව්‍යාප්ත වුනා. මේවා විවිධ ආකර්ශනීය නම් වලින් හැඳින්වුනා. ඔය කාලයේ මම සේවය කළේ කොළඹ නගරයේ. තදාසන්න නගරයක ඉඳලා උදේ වැඩට යන බස් ඇගළුම් සේවිකාවන්ගෙන් පිරිලා. ඒ අය කලාපයට යන බස් එකකට මාරු වෙන්න මගින් බහිනවා. ඔය අතර කොටසේදී ඔවුන්ව ඉලක්ක කරලා පිරමිඩ් ක්‍රම ගැන අත් පත්‍රිකා බස් වල බෙදන එක ඒ දවස් වල නිතර සිදු වූ දෙයක්. මේවා “හෙළදිව සීට්ටු ක්‍රමය” “වාසනා ජයමග” ආදී විවිධ නම් වලින් හැඳින්වුනා. “පිරමිඩ් ක්‍රම” කියන වචනය ඒ කාලයේදී භාවිතා වුනේ නැහැ.

ටැබ්ලොයිඩ් කාන්තා පුවත්පත් ජනප්‍රිය වුනෙත් ඔය කාලයේ වගේනේ. මම හිතන විදිහට සන්නස්ගල මුලින්ම ජනප්‍රිය වුනෙත් ඔය කාන්තා පුවත්පතක මැද පිටුවේ උඩ තීරුවේ කොටස් වශයෙන් පළ කරපු කතාවක් ලියලා. ඔය පත්තර වැඩිපුර විකිණුනෙත් කලාපෙ පැත්තේ. අර මම කියපු අත් පත්‍රිකා ඔය පත්තර වල මැදට දමලත් බෙදා හැරියා. මට මතක විදිහට හෙළදිව සීට්ටු ක්‍රමය හදා තිබුණේ “ජාතියට ලක්ෂපතියන් බිහි කිරීමේ උදාර අරමුණින්”. තව ඔය වගේ උදාර අරමුණු තිබුණා.

ඔය හෙළදිව සීට්ටු ක්‍රමය මේ වගේ එකක්. මුලින්ම මම කාට හෝ රුපියල් 50ක් ගෙවලා සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙනවා. එවිට මට කොළයක් ලැබෙනවා. එහි අනුපිළිවෙළින් කොටු හතක ලිපින හතක් තිබෙනවා. ඊට පහළින් හිස් අටවන කොටුවක්ද තිබෙනවා. හත් වන කොටුවේ තිබෙන්නේ මට සීට්ටුව විකිණූ පුද්ගලයාගේ නම සහ ලිපිනය. උඩ ලිපින බොහොමයක් නොදන්නා අයගේ ලිපින.

දැන් මට කරන්න තියෙන්නේ අර හිස් කොටුවේ මගේ නම සහ ලිපිනය ලියලා තවත් රුපියල් 100ක් එක්ක අදාළ සමාගමට යවන එක. රුපියල් 100 යැවිය යුත්තේ රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක් ලෙසයි. එයින් එකක් ලියන්නේ අර කොළයේ පළමු කොටුවේ තිබෙන ලිපිනයට. දෙවැන්න සීට්ටු ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතනයේ ලිපිනයට.

මේ විදිහට රුපියල් 50ක් ගෙවා මිල දී ගන්නා සීට්ටු කොළය රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක්ද සමඟ අදාළ සමාගමට තැපැල් කළ විට මට ඒ වගේම සීට්ටු කොළ තුනක් ලැබෙනවා. ඒ සීට්ටු කොළ වල මගේ නම හා ලිපිනය හත් වන කොටුවේ මුද්‍රණය කරලා. මට සීට්ටුව විකිණූ තැනැත්තාගේ නම හා ලිපිනය හයවන කොටුවට ගිහින්. පළමු කොටුවේ නම හා ලිපිනය ඉවත් වෙලා. අනෙක් හැම ලිපිනයක්ම උඩට ගිහින්.

දැන් මට තියෙන්නේ මේ සීට්ටු කොළ තුන තුන් දෙනෙකුට විකුණලා වියදම් වූ රුපියල් 150 හොයා ගන්න එක පමණයි. ඊට පස්සේ තියෙන්නේ බලා ඉන්න. මාස කිහිපයක් යද්දී සල්ලි එන්න පටන් ගන්නවා. වැඩේ හරියටම වුනොත් මගේ නම පළමුවෙනි කොටුවට ගියාම රුපියල් පණහේ මුදල් ඇණවුම් වලින් රුපියල් 109,350ක්ම ලැබෙනවා. ඉන් පසුව, ලැයිස්තුවේ මට පිටුපසින් ඉන්න අයටත් මම වගේම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාව ලැබෙනවා.

සමාගම කියන විදිහට වියදම් වූ රුපියල් 150 කලින්ම ආපසු ලැබෙනවා වුනත්, මුදල් ඇණවුම් මිල දී ගනිද්දී තැපැල් කන්තෝරුව රුපියල් 50ට යම් කොමිස් මුදලක් එකතු කරනවා. ඒ කොමිස් මුදලනම් ආපසු ලැබෙන්නේ නැහැ.

මේ වගේ සීට්ටු ක්‍රම වලට මම කිසිම දවසක සම්බන්ධ වී නැහැ. සීට්ටු ගැන මුලින්ම දැන ගන්න ලැබුණු නිසාත්, ඒ වෙද්දී අපහසුවක් නැතිව සීට්ටු කොළ තුනක් විකුණගන්න පුළුවන්කම තිබුණු නිසාත්, මට ඇත්තටම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාවක් තිබුණා. අවුරුදු හත අටකට කලින් පෙරල්මාන්ගේ පොත කියවා තිබූ නිසා, සල්ලි එන විදිහ තේරුම් ගන්න එකත් අමාරු වුනේ නැහැ. කවුරු හෝ කෙනෙක් ලක්ෂපතියෙකු වන හැම වෙලාවකම සමාගමටද රුපියල් ලක්ෂයක් ලැබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබුණා.

හෘද සාක්ෂියට එකඟව මට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගෙන් සීට්ටු මිල දී ගන්නා මා දන්නා තුන් දෙනා කොහොම හරි ගොඩ ගියත් තව විශාල පිරිසක් අමාරුවේ වැටෙන බවත්, මම එකතු කර ගන්නේ ඒ අයගේ සල්ලි බවත්, පැහැදිලිව පෙනෙද්දී ලක්ෂපතියෙක් වෙලා හිතේ සතුටෙන් ඉන්නේ කොහොමද?

කොහොම වුනත්, මා දන්නා, ඔය කාලයේ ලඟින් ඇසුරු කළ ඇතැම් අය මේ සීට්ටු ක්‍රමයට සම්බන්ධ වුනා. මාස කිහිපයකට පසුව අදාළ සමාගම විසින් රුපියල් 50 මුදල් ඇණවුම් කොටස් වශයෙන් පාර්සල් කර ඔවුන්ට එවුවා. ලක්ෂය කෙසේ වුවත් හත අට දාහක මුදලක් හෝ ලැබුණා. පසුව ඔය වගේ සීට්ටු ක්‍රම වැහි වැහැලා ඉන් පසුව නැතිව ගියා.

ඊට පස්සේ නැවතත් පිරමිඩ් ක්‍රම ලංකාවේ නැගලා ගියේ දෙදාස් දෙකේදී පමණ. මේක සිදු වුනේ වෙනත්ම ආකෘතියකයි. සම්බන්ධ කර ගැනුණේ ඉංජිනේරුවෝ, දොස්තරලා වගේ වෘත්තිකයෝ. තරු හෝටල් වල සම්මන්ත්‍රණ පවා පැවැත්වුනා. මගේ ඇතැම් මිත්‍රයෝ රැකියාවෙන් ඉවත් වී වැඩේට බැස්සා. මේ එක්කම ක්‍රෙඩිට් කාඩ් හරහා විදේශ විණිමය රටෙන් එළියට ගලා යාමක්ද සිදුවුනා. මහ බැංකුවට මැදිහත් වීමට පොටක් පෑදුනා. මා දන්නා ඇතැම් අය ලක්ෂ ගණන් වලින් හොයා ගත්තා.

වෙනස් ආකෘති යටතේ පිරමිඩ් ක්‍රම දිගින් දිගටම මතු වෙනවා. ජාලගත අලෙවිකරණය එක ක්‍රමයක්. ඇමරිකාවේ හා යුරෝපයේ වෙසෙන දකුණු ආසියානු සම්භවයක් තිබෙන අය අතර මේ ක්‍රම දැනටත් ජනප්‍රියයි. ඇතැම් අය පූර්ණකාලීනව වැඩේට බැහැලා සල්ලි හොයනවා.

මේ පිරමිඩ් ක්‍රම හැඳින්වීම සඳහා ඇමරිකාවේ ප්‍රචලිතව යොදන්නේ පොන්සි ක්‍රීඩා කියන නමයි. නමේ සම්භවය පසුගිය සියවසේ මුල් භාගයේදී නිවුයෝර්ක් නගරයේ ජීවත් වූ ඉතාලි සංක්‍රමණිකයෙක් වූ චාර්ල්ස් පොන්සි. ලිපිය කෙටි කිරීම සඳහා මම පොන්සි ගැන ලියන්න යන්නේ නැහැ. විකිපීඩියාව බලන්න.

පොන්සි ක්‍රීඩාවකින් යම් පිරිසකට ඇත්තටම විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මහන්සියක් නැතුව, කිසිවකු විසින් එකතු කරන දෙයක් නැතුව, නිකම්ම වටිනාකමක් නිර්මාණය වෙනවානම් ඒ ආකෘතියේ මොකක් හරි අවුලක් තියෙන්න ඕනැනේ. පෙනෙන්න නැතත් අදාළ මිල ගෙවන කවුරු හෝ කෙනෙක් සිටිය යුතුයි. හෙළදිව සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙලා මම රුපියල් 109,350ක් උපයා ගනිද්දී, රුපියල් 50 බැගින් එයට දායක වන 2,187 දෙනෙක් ඉන්නවා (=3^7). ඒ අයට බොහෝ විට තමන් වැය කරන රුපියල් 150 නැති වෙනවා.

පිරමිඩ් ක්‍රමයකින් කෙනෙකුට ලැබෙන වාසිය ඇත්ත වාසියක්. එහි සංඛ්‍යාලේඛණ විජ්ජාවක් නැහැ. එහෙත්, අනාගතයේ දවසක යම් අයෙකුට මේ වාසිය වෙනුවෙන් අවාසියක් විඳින්න වෙනවා. ඒ නිසා, පද්ධතියක් ලෙස ගත් විට මෙවැන්නක් ස්ථායී නැහැ.

සාර්ව ආර්ථික ආකෘති හදද්දී මේ තත්ත්වය සැලකිල්ලට ගන්නවා. ඒ නිසා, බොහෝ ගතික සර්ව ආර්ථික ආකෘති වල සමතුලිත විසඳුම හොයද්දී පොන්සි-නොවන කොන්දේසිය (No-Ponzi condition) නම් වූ කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරනවා. ඔය කොන්දේසිය අමතක කර හදන ආර්ථික විද්‍යා ආකෘතියකින් පෙරල්මාන්ගේ පොතේ අනාවරණය කර තිබෙන විදිහේ අපූරු “මැජික්” පෙන්වන්න පුළුවන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan